ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව ලබන මාසයේ (ජනවාරි) සිට ආරම්භ කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම මගී බෝට්ටු යාපනය දිස්ත්‍රික්කයේ කන්කසන්තුරේ වරායේ සිට ඉන්දියාවේ පුදුච්චේරි දක්වා යාත්‍රා කිරීමට නියමිතය.
මෙම බෝට්ටු සේවාව සඳහා ඉන්දීය රජය කැමැත්ත පළ කර ඇති බව වරාය සහ නාවික ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පැවසීය. සංචාරක ක්ෂේත්‍රය නංවාලීමට මෙන්ම දෙරට අතර සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමට ද මෙම මගී යාත්‍රා සේවය මගින් හැකිවේ.
දෙරට අතර සම්බන්ධතාව වැඩිදියුණු කිරීමේ ඉල්ලීම් කිහිපයක් සැලකිල්ලට ගනිමින් මෙම මගි බෝට්ටු සේවාව ආරම්භ කෙරේ. ඉදිරියේදී දකුණු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය සහ කොළඹ දක්වා ද සේවා ආරම්භ කිරීමට ද ශ්‍රී ලංකා රජයේ අවධානය යොමු වී ඇත.
මෙම මගී බෝට්ටු සඳහා ඉන්දියාවේ පුදුච්චේරි සඳහා යාත්‍රා කිරීමට පැය තුනහමාරක පමණ කාලයක් ගතවනු ඇති අතර එක් ගමන් වාරයකදි මගීන් තුන්සියයත් (300) ත්, හාරසීයයත් (400) ත් අතර පිරිසක් රැගෙන යනු ඇත. එක් ගමනක් සඳහා මගියකුගෙන් රුපියල් 5000 කට සමාන මුදලක් අය කිරීමට යෝජනා වී ඇති අතර එක් මගියෙකුට කිලෝග්‍රෑම් 100ක් දක්වා ගමන් මලු රැගෙන යා හැකි බවටත් යෝජනා වී තිබේ.


0 Comments