රටවල් පහක සිට ඉන්දියාවට පැමිණෙන පුද්ගලයන් සඳහා කොවිඩ් පාලන නීති පැනවීමට ඉන්දියාව තීරණය කර තිබේ.
ඒ අනුව චීනය, ජපානය, දකුණු කොරියාව, හොංකොං හා තායිලන්තයේ සිට එරටට ඇතුළු වන පුද්ගලයන් හට කොවිඩ් ආසාදිතයකු නොවන බවට වන වාර්තාව ඉදිරිපත් කළ යුතුය.
එම රටවල සිට පැමිණෙන මගීන් කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගත හොත් නැතිනම් අදාළ රෝග ලක්ෂණ පෙන්වුව හොත් ඔවුන් නිරෝධායනයට යොමු කරන බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
එක්සත් ජනපදය හැරුණු විට ලොව වැඩි වශයෙන්ම කොවිඩ් රෝගයෙන් පීඩාවට පත්වූයේ ඉන්දියාවයි. එහි මිලියන 44ක ජනතාවක් කොවිඩ් ආසාදනයට ලක්විය.
මේ දිනවල චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින BF-7 ප්‍රභේදයේ ආසාදිතයන් කිහිප දෙනකු ඉන්දියාවෙන් සොයා ගැනුණි. BF-7 ඔමික්‍රෝන්හි උප විශේෂයකි.එරට කොරෝනා ව්‍යාප්තිය පහළ බැසීමත් සමග මෙම වසර මුලදී මුඛ ආවරණ පැළඳීමේ නීතිය ලිහිල් කිරීමට ඉන්දියාව පියවර ගත්තේය.
පසුගිය බ්‍රහස්පතින්දා නිවේදනයක් නිකුත් කළ ඉන්දීය වෛද්‍යවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියේ ප්‍රසිද්ධ ස්ථානවලදී මුඛ ආවරණ පැළඳීමට හා කොවිඩ් වර්ධක එන්නත් ලබාගැනීමට ක්‍රියා කරන ලෙසය.
එසේම විවාහ මංගල්‍ය, දේශපාලන හා වෙනත් රැස්වීම්වලට නොයන ලෙස හා විදේශ ගත නොවන ලෙසද ඔවුහු ප්‍රකාශ කළහ. තුන්වන වර්ධක මාත්‍රාව ලබාගෙන ඇත්තේ එරට ජනතාවගෙන් 27% ක් පමණකි.
අදාළ රටවල් පහේ සිට පැමිණෙන පුද්ගලයන්ට නිරෝධායන නීති පනවා ඇති නමුත් ගුවන් ගමන් පාලනය කිරීම සඳහා තවමත් සැලසුම කර නොමැති බවද සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කරයි.


0 Comments