මැතිව්ස් සහ චන්දිමාල්ට ඉන්දීය සංචාරයත් අහිමිවෙයි ?

 



ලබන ජනවාරි 03 වැනිදා සිට ඉන්දියාව සමගින් ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස සහ එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම්කර ඇතැයි සඳහන් ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල්ට අවස්ථාව අහිමි වී ඇති බව වාර්තා වේ.


පාදයේ ආබාධයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පැවැති ඉකුත් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අහිමි වූ අවිශ්ක ප්‍රනාන්දුද, දණහිසේ කරන ලද ශල්‍යකර්මයකින් අනතුරුව නැවත සංචිතයට කැඳවා ඇති බව සඳහන්ය. ඔහු විස්සයි විස්ස සහ එක්දින යන සංචිත දෙක සඳහාම නම්කර තිබීම කැපී පෙනෙන කාරණයකි.


මේ අතර භානුක රාජපක්ෂ සහ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර විස්සයි විස්ස තරග සඳහා පමණක් තෝරාගෙන ඇති බවට වැඩිදුරටත් වාර්තාවන අතර නුවනිඳු ප්‍රනාන්දු සහ ජෙෆ්රි වැන්ඩ්‍රසේ එක්දින තරග සඳහා පමණක් නම්කර ඇති බව සැලවේ.


ඉකුත් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී කණ්ඩායමේ ස්ථානයක් අහිමි වූ යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේද මෙම සංචිතයන් දෙකටම ඇතුළත්ව ඇති බව විශ්වාසදායී ආරංචිමාර්ග සඳහන් කරයි.


නිත්‍ය කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සහ දිනේෂ් චන්දිමාල් කඩුලු රකින ක්‍රීඩකයන් ලෙස මීට පෙර අවස්ථා කිහිපයකදී තරගාවලි සඳහා සහභාගි වුවද, මෙවර චන්දිමාල් වෙනුවට එල්.පී.එල්. තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වූ සධීර සමරවික්‍රමට සංචිතයේ අවස්ථාව සැලසී තිබෙන බවට වාර්තා වේ.


තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය ජනවාරි 03 වැනිදා මුම්බායිහි වැන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පස්වැනිදාට සහ හත්වැනිදාට යෙදී තිබෙන දෙවැනි සහ තෙවැනි තරග පිළිවෙළින් පූනේ සහ රාජ්කොට්හිදී පැවැත්වෙනු ඇත.


දෙරට අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගයන් ජනවාරි 10, 12 සහ 15 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතය. ඒවා පිළිවෙළින් ගුවහති, කොල්කටා සහ තිරුවනන්තපුරම්හිදී පැවැත්වේ.


විස්සයි විස්ස සහ එක්දින තරගාවලිය සඳහා නම්කර ඇතැයි සඳහන් ශ්‍රී ලංකා සංචිතය - දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, අශෙන් බණ්ඩාර, නුවනිඳු ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩ්‍රසේ, කසුන් රාජිත, ළහිරු කුමාර, ප්‍රමෝද් මධුෂාන්, දිල්ෂාන් මධුශංක, නුවන් තුෂාර, චාමික කරුණාරත්න, අවිශ්ක ප්‍රනාන්දු.

Post a Comment

0 Comments