මහනුවර ත්‍රීවීල්වල යන්න එපා...

 



මහනුවර නගරයේ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ අනීතික ක්‍රියා නිසා මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ට එම නගරයේ ත්‍රිරෝද රථවල ගමන් නොකරන ලෙසට තානාපති කාර්යාල මගින් උපදෙස් දී තිබෙන බව මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක පැවසීය.


බොහෝ විදේශ රටවල මහනුවර නගරය සම්බන්ධයෙන් පවතින්නේ යහපත් ප්‍රතිචාරයක් නොවන බවද කොමසාරිස්වරයා කීවේය.


මහනුවර ඊ.එල්. සේනානායක පුස්තකාල ශ්‍රවණාගාරයේ ඊයේ (29) දින පැවැති වැඩසටහනකට සහභාගි වූ ඒ මහතා මෙසේද කීය.


මහනුවර නගරය අඳුරු, අපිරිසුදු, අනාරක්ෂිත මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය හා අපරාධ වැඩි නගරයක් කියල නෙදර්ලන්තය ඇතුළු තවත් රටවල් කිහිපයක තානාපති කාර්යාලය විසින් එම රටවල්වල සංචාරකයන් වෙත දැනුවත් කරල තියෙනවා. විශේෂයෙන් මහනුවර නගරයේ ත්‍රිරෝද රථවල ගමන් නොගන්නා ලෙස සංචාරකයන්ට දැනුම් දී තිබෙනවා. මහනුවර නගරයේ බොහෝ ත්‍රිරෝද ධාවකයන් දූෂිත, ඉතාමත් අසාධාරණ ආකාරයෙන් කටයුතු කරන්නන් වශයෙන් හඳුන්වා දී තිබෙනවා.


අන්තර්ජාලයේ ලෝක පූජිත ටජ්මහල් පරදවා මහනුවර දළදා මාලිගාව මුල් තැනට පැමිණිලා තිබෙනවා. දළදා වහන්සේ ජීවමාන බුදුන් වහන්සේ වශයෙන් අපි සලකනවා. ලෝක උරුම නගරයක් වූ මහනුවර නගරයට මෙම තත්ත්වය උදා වීම සම්බන්ධයෙන් අප සියලු දෙනා කනගාටු විය යුතුයි.

මහනුවර නගරයේ ත්‍රිරෝද රථ තුන්දහසකට වඩා ධාවනය වුවත් ඒ සඳහා බලපත්‍ර අරගෙන තියෙන්නෙ අටසීයක් පමණයි. වෙනත් පළාත්වල සංචාරය කළ විදේශිකයෝ එම පළාතේ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සේවය ගැන, අවංක භාවය ගැන පැහැදිලා ඔවුන්ට නිවාස පවා ඉදිකර දී තිබෙනවා. රථවාහන පවා රැගෙන දී තිබෙනවා. ඒ රටවල්වලටත් රැගෙන ගොස් තිබෙනවා. පුද්ගලිකව බොහෝ උදව් කර තිබෙනවා. නමුත් ඇතැම් විදේශ රටවල් ඒ රටවල සංචාරකයන්ට අවවාද කරන්නේ මහනුවර නගරයේ සංචාරය කරනවානම් ත්‍රිරෝද රථ පාවිච්චි කරන්න එපා කියලයි. මේක ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් වශයෙන් අපි දකිනවා .මෙම තත්ත්වය උද්ගත වීමට බලපාන බොහෝ හේතු සාධක තිබෙනවා. ත්‍රිරෝද රථ රියැදුරන් ඉතාමත් අනීතික ආකාරයෙන් කටයුතු කරනවා. ඉදිරි වසරේ මෙම තත්ත්වය අවම කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග අප මේ වෙනවිට ක්‍රියාත්මක කරමින් ඉන්නවා. බලපත්‍ර ලබාගත් තීරෝද රථ සඳහා වෙනම වර්ණයක් හෝ වෙනම හඳුනා ගැනීමේ ලාංඡනයක් ලබාදී, රියැදුරන්ට නිල ඇඳුමක් ලබාදී එම ත්‍රිරෝද රථ මගින් සේවාවන් සපයා ගන්නා මහජනතාවට අපගේ වගකීම ඉටු කරනවා.


නගරයේ බොහෝ ස්ථාන රාත්‍රියට අඳුරුයි කියලා පැමිණිලි ලැබෙනවා. ඉදිරි වසරේ නගරයේ ව්‍යාපාරිකයන්ගෙ දායකත්වය ලබාගෙන මහනුවර වැව රවුම ඇතුළු නගරය ආලෝකමත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. බොහෝ මාධ්‍යවල මහනුවර නගරය සම්බන්ධයෙන් පළවෙන්නේ නරක පුවත් පමණයි. ඒකත් මේ තත්ත්වයට හේතුවක් වෙන්න ඇති යනුවෙන්ද නාගරික කොමසාරිස්වරයා සඳහන් කළේය.


මෙම අවස්ථාවට සහභාගී වූ මාධ්‍යවේදීන් කියා සිටියේ නගරයේ සිදුවන වංචා, දූෂණ, හොර මැරකම්, අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ වාර්තා කිරීම හේතුවෙන් යම් තරමක හෝ පාලනයක් සිදුව ඇති බවත් මාධ්‍යවේදීන් සෑම විටම කටයුතු කරනුයේ නිලධාරීන්ගේ යහපත වෙනුවෙන් නොව මහජනතාවගේ යහපත වෙනුවෙන් බවත්ය.

Post a Comment

0 Comments