ෂාෆ්ටර්ගේ ගෙල සිරකළ වයරයට සමාන වයරයක් හමුවූ තැන...


අභිරහස් ලෙස මරණයට පත් ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ගෙලේ ගැටගසා තිබූ වයර් කැබැල්ලට සමානකම් දක්වන වයර් කැබැල්ලක් මේ වනවිට හමුවී තිබේ.


රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් දිනේෂ් ෂාෆ්ටර්ගේ නිවසේ සිදුකළ පරීක්ෂාවකදී මෙම වයර් කැබැල්ල හමුවී ඇත.



ඒ සම්බන්ධයෙන් නිශ්චිතව තහවුරු කරගැනීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මේ වනවිටත් කටයුතු කරමින් සිටී.

මෙම ඇන්ටනා වයර් කැබැල්ලක් හමු වී ඇත්තේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරින් දිනේෂ් ෂාෆ්ටර් ගේ නිවසට ඉකුත් සෙනසුරාදා ගොස් ඒ මහතාගේ නිවසට ගොස් පරීක්ෂණ සිදුකළ අවස්ථාවේදීය.


ප්‍රකට ව්‍යාපාරිකයෙක් සහ සමාගම් අධ්‍යක්ෂවරයෙක් වූ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් විමර්ශන ක්‍රියාත්මකව පවතී.


ක්‍රියාත්මක කෙරුණු මූලික විමර්ශන අනුව ෂාෆ්ටර් මහතා දෙසැම්බර් 15 වැනිදා පස්වරු 2 ට පමණ සිය මෝටර් රථයෙන් තනිවම බොරැල්ල කනත්තට ගමන් කර ඇති අතර අතරමගදී අවන්හලකින් දෙදෙනකුට සෑහෙන තරමේ කෙටිකෑම ද මිලදී ගෙන ගොස් තිබූ බව හෙළි වී තිබුණි.

ඔහු බොරැල්ල කනත්තේ සිය මෝටර් රථය තුළ රියදුරු අසුනේ සිටයදී සොයාගන්නා විට දෑත් ගැට ගසා වයරයකින් ගෙල තද කර තිබූ බව පොලිස් වාර්තාවල සඳහන් වෙයි. 

එමෙන්ම ෂාෆ්ටර් සිය නැන්දනියට ලියන ලද ලිපියක් කෙරෙහි විමර්ශකයින්ගේ අවධානය යොමුව ඇති අතර '' මේ වගේ හොඳ දුවක් හදලා මට ලබාදුන් අම්මාට බොහොම ස්තුතියි" යනුවෙන් හැඟීම්බර අදහස් එහි අන්තර්ගත බව සඳහන් වේ.


එමෙන්ම ඇයට යවන ලද එම අදහස් සහිත කෙටි පණිවිඩයක් සම්බන්ධයෙන්ද විමර්ශකයන්ගේ අවධානය යොමු වී තිබේ..


එමෙන්ම ෂාෆ්ටර් පසුගිය 15 වැනිදා බොරැල්ල කනත්තට ගොස් ඇත්තේ බිරිඳ සමග එංගලන්තය බලා යාමට හෝරා කිහිපයක් තිබියදීය.


එහිදී ඔහු මෝටර් රථය ස්ථානගත කර ඇත්තේ සුසාන භූමියේ ''අනාථ පැත්ත'' ලෙස හඳුන්වන එම ප්‍රදේශය පැති තුනකින් ආවරණය වන ස්ථානයක් බවට හඳුනාගෙන තිබේ.


සමාගම් කිහිපයක හිමිකරුවකු වන දිනේෂ් ෂාෆ්ටර් සිදුකරන ලද ව්‍යාපාර කටයුතුවලට රුපියල් කෝටි ගණනක් මුදල් ආයෝජනය කළද එම මුදල් බලාපොරොත්තු වූ පරිදි නැවත ලබා ගැනීමට නොහැකි වීමෙන් ඔවුගේ ව්‍යාපාර දිනෙන් දින පාඩු ලබා ඇතැයි මේ වන විට අනාවරණ වූ තොරතුරු අතර සඳහන් වේ.


පවුලේ සමීපතමයින්ගේ ප්‍රකාශවලින් හෙළිවී ඇත්තේ නුවරඑළිය ප්‍රදේශයෙන් මිලදීගත් රුපියල් කෝටි 300 ක් පමණ වටිනා ඉඩමක් පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියට පවරා ගෙන තිබීමත්, යාපනය ප්‍රදේශයේ මන්ත්‍රීවරයෙකු සම්බන්ධ වී සිදුකළ ව්‍යාපාරයකට ආයෝජන කළ කෝටි 85 ක මුදලක් නැවත ඔහු වෙත නොලැබීමත්, ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් වෙත ලබා දුන් රුපියල් කෝටි 160 ක මුදල සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්වය සහ තවත් කෝටි ගණනාවක ව්‍යාපාරික ගනුදෙනුවලින් රුපියල් කෝටි 2,000 ක් පමණ ඔහුට පාඩු සිදුවී ඇති බවය.


එසේම ඔහු පදිංචිව සිටි කුරුඳුවත්ත මල් පාරේ නිවස විකිණීම සඳහා පුවත්පතක දැන්වීම් පළකර තිබූ බවත් පවුලේ සමීපතමයන්ගේ ප්‍රකාශවලින් අනාවරණ වී තිබේ.


මේ වන විට මේ මරණයට අදාළව ප්‍රකාශ ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 70කි.


දිනේෂ් ෂාෆ්ටර් දිවි නසාගත්තේද යන්න සම්බන්ධයෙන් සැක මතුවූවත් ඔහුගේ මරණ පරීක්ෂණ වාර්තාවට අනුව ඔහු මියගොස් ඇත්තේ පිටුපස සිට ගෙළ තද කිරීමකිනි.


මේ සියලු තොරතුරු සමඟ මේ වන විට ෂාෆ්ටර් ගේ මරණය සම්බන්ධයෙන් පොලීසිය තවත් සැකකටයුතු අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන දියත් කර තිබේ.

Post a Comment

0 Comments