බත් කෑම අඩුවෙයි...

 

දෛනික සහල් පරිභෝජනය අඩුවීමත් ආනයනික සහල් තොග අඩු මිලට වෙළෙඳපොළේ පැවතීමත් යන කාරණා නිසා දේශීය සහල් සඳහා පවතින ඉල්ලුම අඩුවී තිබේ. මේ හේතුව නිසා මධ්‍යම පරිමාණ මෝල් හිමියන් සිය ගබඩාවල ඇති වී සහල් කර හෝ රජයේ සත්ත්ව ආහාර සඳහා අලෙවි කරන බව වාර්තා වේ.


පසුගිය වර්ෂයේ ජූලි මාසයේ සිට දේශීය හා ආනයනික සහල් සත්ත්ව ආහාරවලට ලබාදීම තහනම් කරමින් ඇති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළේය. එවැනි තත්ත්වයක් මත සහල් කිලෝවක් රුපියල් එකසිය හතළිහකට අලෙවි කරන බව සඳහන් වේ.


මේ ආකාරයට ගෙවුණු සති කිහිපයේ පමණක් සහල් කිලෝ ග්‍රෑම් ලක්ෂ විසිපහකට වඩා වයඹ පළාතේ සත්ත්ව ගොවිපළවල්වලට අලෙවි කර ඇත.


මීට පෙර දෛනික සහල් පරිභෝජනය කිලෝ ලක්ෂ හැට පහක් පමණ වූ අතර එය මේ වන විට කිලෝ ලක්ෂ දහයකින් පමණ අඩු වී ඇති බව වාර්තා වේ.


මේ ආකාරයට සත්ත්ව ආහාර සඳහා පොළොන්නරුවේ සහල් මෝලකින් සහල් ටොන් විස්සක් මිලදී ගෙන කුලියාපිටිය ප්‍රදේශයේ සත්ත්ව ගොවිපළකට ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මීට දින කිහිපයකට ඉහතදී මින්නේරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තේය.


ඊට අමතරව එම ප්‍රදේශයේ ගබඩාවක මිනිස් පරිභෝජනයට සුදුසු සහල් මෙට්‍රික් ටොන් 140 පමණ තොගයක් සත්ත්ව ආහාර සඳහා ගබඩා කර තිබියදී පසුගිය සතියේදී පාරිභෝගික සේවා අධිකාරියට ලද තොරතුරක් මත සිය භාරයට ගෙන එහි ගබඩා හිමිකරු හා කළමනාකරු අත්අඩංගුවට ගත්තේය.


රුපියල් ලක්‍ෂ 39 ක් පමණ වටිනා මිනිස් පරිභෝජනයට සුදුසු සහල් මෙට්‍රික් ටොන් 21 ක් සත්ත්ව ආහාර පිණිස සැකසීම සඳහා ඒකල ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබියදී ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අංක 1977 දරන හදිසි ඇමැතුම් අංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.


මෙහි ගබඩා භාරකරුගෙන්, කළමනාකරුගෙන් හා ලොරි රියැදුරුගෙන් පාරිභෝගික අධිකාරිය ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගෙන අත්අඩංගුවට ගෙන සැකකරුවන් 2023 ජනවාරි මස 06 වැනි දින වත්තල අධිකරණය හමුවේ පෙනී සිටීමට යටත්ව ඔවුන් ඇප බැඳුම්කර මත මුදා හැර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානී රංජිත් වීරවර්ධන පැවසීය.

Post a Comment

0 Comments