පොලිස් වෙස්ගෙන මොරටුවේ නිවසක් කොල්ලකයි...

 

පොලිස් නිලධාරීන් බව පවසමින් මොරටුව උස්වත්ත ප්‍රදේශයේ නිවසකට කොල්ලකල්ලියක් ඇතුළු වී නිවැසියන් බියවද්දා මුදල් සහ ජංගම දුරකථන කොල්ලකා පලාගොස් තිබේ.


පසුගිය 25 වැනිදා උස්වත්ත ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තමන් පොලිස් නිලධාරීන් බව පවසා හැඳුනුම්පතක් පෙන්වා එම නිවසේ මත්ද්‍රව්‍ය ඇති බව පරික්ෂා කිරීමට අවශ්‍ය බව පවසා ඇත.


එම අවස්ථාවේ නිවසට ඇතුළු වී සිව්දෙනාගෙන් එක් අයෙකු තමා පොලිස් නිලධාරියෙකු බව පවසා ඇති අතර එම පුද්ගලයා අතැතිව තිබූ හැඳුනුම්පතක් නිවසේ හිමිකරුට පෙන්වා ඇත.


එම පුද්ගලයා පැළද සිටි වැසි ආවරණය ගලවා තමා පොලිස් නිලධාරියකු බව පෙන්වීමට පොලිස් නිලධාරීන් අඳින ලද ටී ෂර්ටය පෙන්වා ඇත. එම පුද්ගලයා පොලිස් නිලධාරීන් අඳින කාකි කලිසමක් ඇඳ පොලිස් නිලධාරීන් භාවිතා කරන සපත්තු කුට්ටමක් ද පැළඳ සිටි බව නිවසේ හිමිකරු පවසයි.


නිවසට ඇතුළු වූ පුද්ගලයින්ගෙන් හැඳුනුම්පත පෙන් වූ පුද්ගලයා මීට පෙර මොරටුව පොලිසියට ආසන්න පොලිස් ස්ථානවල සේවය කළ පුද්ගලයකු බව නිවසේ හිමිකරුවා හැඳිනගෙන ඇති අතර ඔහු පොලිස් නිලධාරියකු බව දන්නා බැවින් නිවෙසට ඇතුළු වීමට අවසර ලබා දී ඇත.


අනතුරුව එම කණ්ඩායම නිවසේ සිටි පුද්ගලයින් 6දෙනෙකු බිය වද්දා නිවසේ කාමරයකට ඔවුන් දමා දොර වසා නිවසේ අල්මාරියේ තිබූ රුපියල් 258,000ක මුදල් සහ නිවසේ සිටි පුද්ගලයින්ගේ අතැතිව තිබූ ලක්ෂ 3ක් වටිනා ජංගම දුරකථන හතරක් ද බලහත්කාරයෙන් රැගෙන ත්‍රීරෝද රථයක නැඟ පලාගොස් තිබේ.


එම මුදල් ඉකුත් 24 වන දා පදිකවේදිකාවේ රතිඤ්ඤා අලෙවි කළ ලබාගත් මුදල් බව නිවසේ හිමිකරුවා පවසයි.


මෙම සිදුවීමට මුහුණ දුන් නිවැසියන් විසින් ඊයේ (26) මොරටුව පොලිසියට මේ සම්බධයෙන් පැමිණිල්ලක් සිදුකර තිබේ.

Post a Comment

0 Comments