කොළඹ ජාතික රෝහලේ නේවාසික රෝගීන් තුන්දහසකට ආසන්න සංඛ්‍යාවකට ඊයේ (04 වැනිදා) දහවල් කෑම වේල ලබා දීම පැය තුනක කාලයක් ප්‍රමාද වීම නිසා එම රෝගීහු දැඩි අසීරුතාවට පත්වූහ.
සාමාන්‍යයෙන් ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගින් සඳහා දහවල් කෑම වේල පෙරවරු එකොළහයි තිහ වනවිට ලබා දිය යුතු ය.
එසේ වුවද ඊයේ (04) එම වේලාව වනවිටත් දහවල් කෑම වේල පිසීම සඳහා අවශ්‍ය කරනු ලබන එළවළු වර්ග ජාතික රෝහලේ මුළුතැන්ගෙට ලැබී නොතිබිණි.
ජාතික රෝහලේ ඊයේ දහවල් ආහාර වේල සඳහා ලබා දීමට තිබූ ආහාර වට්ටෝරුව වන්නේ කැරට්, වට්ටක්කා මාළු මිරිස් සහ බිත්තරය.
රෝගින් සඳහා බදාදා සහ සිකුරාදා දිනවල බිත්තර එක්දහස් අටසියයක් පමණ මුළුතැන්ගෙයි තම්බා පිළියෙල කරන අතර බිත්තරවල අධික මිල සමග රෝහලට බිත්තර සැපයීම ද අඩාල වී තිබේ.
ආහාර සැපයුම්කරුවන් විසින් එම එළවළු වර්ගවලින් උදෑසන වනවිට ලබා දී තිබුණේ වට්ටක්කා පමණක් වන අතර කැරට් වෙනුවට ගෝවා සහ මාළු මිරිස් වෙනුවට කැකිරි සහ බිත්තර වෙනුවට සෝයා මීට් ලබා දුන්නේ පෙරවරු එකොළහයි තිහ වනවිටය.
එසේ ලබා දුන් කැකිරිද පණුවන් ගසා පරිභෝජනයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ තිබිණි.
පසුව ඒ වෙනුවට අර්තාපල් අල ගෙන්වා ගැනීමට මුළුතැන්ගෙයි නිලධාරීන් කටයුතු කළද දහවල් ආහාරය සඳහා අල පිසීමට ඒ වනවිටත් කාලය ප්‍රමාණවත් නොවීය.
මෙම තත්ත්වය නිසා ජාතික රෝහලේ මුළුතැන්ගෙයි ආහාර පිළියෙල කරනු ලබන අරක්කැමියන්ටද විවේක කාලයක් නොමැති බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
මෙසේ ප්‍රමාද වී රෝගීන්ට ආහාර ලබා දෙන විට රෝගින් එම ආහාර ප්‍රතික්ෂේප කරන බවත් එම නිසා ආහාර විශාල ප්‍රමාණයක් කුණු කුඩයට දැමීමට සිදුවන බවත් රෝහල් සේවකයෝ පවසති.
ජාතික රෝහලට සැපයුම්කරුවන් විසින් ලබාදෙන පරිප්පු, එළවළුවල සහ කුළුබඩුවල ප්‍රමිතියක් නොමැති බව වාර්තා වන අතර ඇතැම් අවස්ථාවලදී පුස් කෑ පරිප්පු තොග රෝහලේ මුළුතැන්ගෙට ගෙන්වනු ලබන බවත් ඒවා ආපසු හරවා යැවීමට නිලධාරීන්ට සිදුව තිබේ.
එසේම ජාතික රෝහලේ නේවාසික රෝගින්ට උදෑසන ආහාරවේල සඳහා ධාන්‍ය වර්ගයක් ලබා දීමට නියමිතව තිබුණද පවතින අර්බුදයත් සමග ජාතික රෝහලේ උදෑසන ආහාර වේල පරිප්පු සහ බත්වලට පමණක් සීමා වී ඇත.
ඇතැම් රෝගීන්ට ලබා දෙන අධි ප්‍රෝටීන් ආහාර කිසිවක් මේවනවිට ජාතික රෝහලෙන් ලබා නොදෙන බවද වාර්තා වෙයි.
රෝගින් සඳහා දෙනු ලබන තේ සෑදීමට ප්‍රමාණවත් අයුරින් තේ කුඩු සහ සීනි නොලැබෙන අතර තේ සෑදීමේදී ප්‍රමාණවත් ලෙස කහට සහ සීනි දැමීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත.
0 Comments