තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පවතින බුද්ධි ගලනය, රටට අභියෝගයක්..

 


තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පවතින බුද්ධි ගලනය, රටට අභියෝගයක් බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ මීට විසඳුමක් ලෙස තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයේ විෂය නිර්දේශය වර්තමාන රැකියා වෙළඳ පොල ට ගැලපෙන පරිදි සංශෝධනය කළ යුතුව ඇතිබවයි. ඒ සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කර ඇතිබව ද හෙතෙම සඳහන් කරයි.

ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් සංවිධානය කර තිබූ ” Global Outreach Summit” මැයෙන්, පැවැති විද්වත් සමුළුවට එක්වෙමිනි.

දේශිය තොරතුරු තාක්ෂණ කර්මාන්ත කරුවන් සඳහා අන්තර් ජාතික වෙළඳ පොලට පිවිසීමට අවශ්‍ය මඟපෙන්වීම ලබා දීම තුළින් රටට බොහෝ ප්‍රතිලාභ ළඟා කර ගත හැකි බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පෙන්වා දෙයි.

එමගින් රට තුළ රැකියා බිහිකර ගැනීමට මෙන්ම විදේශ විනිමය උපයා ගැනීමට ද එය සාධනීය බලපෑමක් කරන බවද රාජ්‍ය අමාත්‍ය වරයා සඳහන් කරයි.

දේශිය, තොරතුරු තාක්ෂණ කර්මාන්ත කරුවන් සඳහා අන්තර් ජාතික වෙළඳ පොලට පිවිසීමට අවශ්‍ය මඟපෙන්වීම ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මඟින් මෙම සමුළුව සංවිධානය කර තිබුණි.

ඩිජිටල් තාක්ෂණය ඔස්සේ දැනුම පදනම් කරගනිමින් ගෝලීය ජයග්‍රහණ වෙත ප්‍රවේශ වීම සඳහා පවතින ආසන්නතම සහ නිවැරැදිම මඟපෙන්වීම ලබා දීම මෙම සමුළුවේ තවත් අරමුණක් විය. ශ්‍රී ලංකාවේ පිහිටි අන්තර් ජාතික තොරතුරු තාක්ෂණ සමාගම් නියෝජිතයින් හා දේශිය තොරතුරු තාක්ෂණ කර්මාන්ත කරුවෝ සහ එම ක්ෂේත්‍රයේ ප්‍රවීණයනයෝ මෙම සමුළුවට සහභාගි වී සිටියහ.

තොරතුරු තාක්ෂණය ප්‍රධාන වශයෙන් අදාළ වන්නේ සේවා අපනයනය ටය. භාණ්ඩ අපනයනයට වඩා සේවා අපනයනය කිරීමේ දී ඊට පවතින බාධක අවම තලයක පවතියි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සිටින ව්‍යවසාකයින් ට ඉතා ඉක්මනින් ජාත්‍යන්තර වෙළඳපොළට ප්‍රවිෂ්ට වීමේ හැකියාව තිබේ. එයට අවශ්‍ය වන්නේ නියමාකාර ජාලගත කිරීම සහ වෙළෙඳපොළගැන දැනුවත් කිරීමය.

මෙම සමුළුවට සහභාගි වෙමින් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා කියා සිටියේ ඩිජිටල් ආර්ථිකය ක් ගොඩ නැඟීම සඳහා අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගන්නා උත්සහය වෙනුවෙන් මෙවැනි විද්වත් සමුළු හරහා සාධනීය ප්‍රතිඵල අත්කර ගත හැකි බවයි.

ලෝකය, නවීන තාක්ෂණය ඔස්සේ ඉදිරියට යමින් තිබෙනවා, අපට පමණක් හුදෙකලාව ඉන්න හැකියාවක් නැහැ. රටේ ආර්ථික අර්බූදය ක් තිබියදී ත් තාක්ෂණය තුළින් අප සුවිශාල ජයග්‍රහණ වෙත ළඟා වෙමින් සිටිනවා. ඉකුත් 2021 වසරේ අප තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය හරහා ඩොලර් බිලියන 1.5 ක විදේශ විනිමය උපයා තිබෙනවා. 2024 වන විට එය ඩොලර් බිලියන 03 ක් දක්වා වර්ධනය කර ගැනීම අපගේ අභිලාෂයයි. අප රටේ වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ අපනයන මගින් ලබා ගන්නා විදේශ විනිමය අතික්‍රමණය කරමින් තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ විදේශ විනිමය උපයා ගැනීමේ හැකියාව පුළුල් වී තිබෙන බව ද කනක හේරත් මහතා වැඩිදුරටත් පැවැසීය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නියෝජ්‍ය ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරි සචින්ද්‍ර සමරරත්න මහතා කියා සිටියේ 2030 වන විට ඩොලර් බිලියන 10 ක විදේශ විනිමය උපයන මට්ටමට මෙරට තොරතුරු තාක්ෂණ කර්මාන්තය ය සංවර්ධනය කළ හැකි බවයි.

එමෙන්ම මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ තාක්ෂණ කර්මාන්ත සංවර්ධන අධ්‍යක්ෂ චිරන්ති බාල පැටබැඳි මහත්මිය කියා සිටියේ ICTA මඟින් මෙරට තොරතුරු තාක්ෂණ ආයතන100 වැඩි ප්‍රමාණයකට ජාත්‍යන්තර වෙළෙඳපොළ අත්පත් කර ගැනීමට අවශ්‍ය ධාරිතා සංවර්ධනය සහ ජාල ගත කිරීමට ත්, එම ක්ෂේත්‍රයේ නව ව්‍යවසාකයින් දහසක් 2024 වන විට තුළ සවිබල ගැන්වීමට ත් පියවර ගෙන ඇති බවයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය මලික් රණසිංහ මහතා , ICTA අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික විශාකා නානායක්කාර මහත්මිය, ප්‍රවීණ බැංකු කරුවකු වන රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා , ශ්‍රී ලංකා – ඇමරිකානු තාක්ෂණ උපදේශක සිදත් පෙරේරා මහතා , මුදල් අමාත්‍යාංශයේ ආර්ථික උපදේශක දේශාල් ද මැල් මහතා, ඇතුළු ක්ෂේත්‍රයේ විද්වතුන් සහභාගි වී සිටියහ.

සිසිර විජේසිංහ

මාධ්‍ය ලේකම්

Post a Comment

0 Comments