හැටන් වන අඩවි කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්හේන ෆයිනස් වන වගා රක්ෂිතයක හටගත් ගින්නකින් අක්කර 25 ක් පමණ රක්ෂිතයේ කොටසක් ගිනිගෙන විනාශ වි ඇති බව හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.
(22) දින රාත්‍රි 9ට පමණ ෆයිනස් වන වගා රක්ෂිතයේ හටගෙන ඇති ගින්න නාවලපිටිය වන අඩවි කාර්යාලය යටතේ පාලනය වන කිරිඅම්මාදෙණිය රක්ෂිතය දක්වා පැතිර යමින් තිබු බවත්, පැතිර යමින් තිබු ගින්න තම කාර්යාලයේ නිලධාරින් සහ එම රක්ෂිතයට යාබදව පිහිටි ගිනිගත්හේන කෙනිල්වර්ත් වතුයායේ වතු කම්කරුවන්ගේ සහයෝගය ඇතිව පාලනය කල බවයි හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරින් කියා සිටියේ.
කිසියම් පිරිසක් විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවත්, මෙසේ රක්ෂිත වලට ගිනි තබන අය පිලිබදව තොරතුරු වෙතොත් තම කාර්යාලයට හෝ ළගම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.


0 Comments