ඊලෝන් මස්ක් මාස දෙකක කාලයකට පසු නැවතත් ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව තිබේ.
ඒ ඔහුට අයත් ටෙස්ලා නමැති සමාගමේ කොටස් මිල නැවත ඉහළ යාමත් සමගය. ටෙස්ලා යනු විදුලි මෝටර් රථ නිෂ්පාදනය කරන සමාගමකි.
සඳුදා (27) වනවිට මස්ක්ගේ ශුද්ධ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 187.1ක් දක්වා ඉහළ ගොස් තිබූ බව බ්ලුම්බර්ග් බිලියනපති දර්ශකය සඳහන් කර තිබිණි.
ලොව ධනවත්ම පුද්ගලයා ලෙස වැජඹුණු ඊලෝන් මස්ක්ට පසුගිය මාස කිහිපයක් එම ස්ථානය අහිමිව තිබිණි.
ඒ ඔහුට අයත් ඇතැම් සමාගම්වල කොටස් මිල පහත වැටීමත් සමගය.
පසුගිය දෙසැම්බරයේ සිට ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ අංක 1 ස්ථානයට පත්ව සිටියේ ප්‍රංශ ජාතික ව්‍යාපාරිකයකු වන බර්නාඩ් ආනෝය.
73 හැවිරිදි ඔහු LVMH නමින් හැඳින්වෙන සුඛෝපභෝගී භාණ්ඩ ව්‍යාපාරයක හිමිකරුය. ඇඳුම් පැලඳුම්, ස්වර්ණාභරණ, සුවඳ විලවුන්, මත්පැන්, රූපලාවණ්‍ය මෙවලම්, අත්ඔරලෝසු ඇතුළු භාණ්ඩ රැසක් සම්බන්ධයෙන් මෙම ව්‍යාපාරය විශේෂඥතාවක් දක්වයි.
සඳුදා (27 වැනිදා) ආනෝගේ වත්කම සටහන් වූයේ ඇ.ඩොලර් බිලියන 185.3 ක් ලෙසිනි.
මේ වනවිට 51 වැනි වියෙහි පසුවන ඊලෝන් මස්ක් දකුණු අප්‍රිකාවේ ඉපිද පසුව ඇමරිකාවට පැමිණි කෙනෙකි.
විදුලි මෝටර් රථ සමාගමක් වන ටෙස්ලා සමාගමේ මෙන්ම අභ්‍යවකාශ කටයුතු පිළිබඳ සමාගමක් වන SpaceX සමාගමේද ප්‍රධාන විධායක නිලධාරියා ඔහුය. පසුගියදා ඔහු ට්විටර් සමාගමද මිල දී ගත්තේය.
0 Comments