ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙයයි...

 

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බැවින්,එකිනෙකාට දෝෂාරෝපණය කරමින් නොසිට මතු පරපුර වෙනුවෙන් සමෘද්ධිමත් රටක් ගොඩනැඟීමට සියලුදෙනා එක්විය යුතු බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.


ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් සංවිධානය කළ 'IMF සහ ඉන් ඔබ්බට'මැයෙන් වූ සාකච්ඡා මණ්ඩපය අමතමින් ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේය.


ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ,ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙන් ඔබ්බට ගොස් ඊළඟ පරම්පරාව සඳහා සමෘද්ධිමත් සමාජයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවයි.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,


"IMF වැඩසටහන ප්‍රකාශයට පත්කිරීමෙන් පසු අප පළමු සාකච්ඡාවට සහභාගීවන්නේ අදයි. අපි මෙය ඉටු කිරීමට නම්, අපගේ දියුණුවට බාධාවක් වූ විශාලතම ප්‍රශ්නය ජනවාර්ගික ප්‍රශ්නය බව මතක තබා ගත යුතුයි. අපි සියලුදෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස සිතිය යුතුයි." 


"ආර්ථික ප්‍රශ්නවලින් අපිට ජනවාර්ගික ප්‍රශ්නය වෙන්කොට සැලකිය නොහැකියි. අපි ඒ ප්‍රශ්න දෙකම විසඳාගත යුතුයි. මම ඒ ප්‍රශ්නය ගැන මේ මොහොතේ කටයුතු නොකරන්නේ, මේ ඒ සඳහා කාලය හෝ ස්ථානය නොවන නිසා. කෙසේ වෙතත්, අපි ඒ පිළිබඳ තීරණය කළ යුතුයි."


"අපි වැය කරන සෑම රුපියලකම ප්‍රතිලාභය අපට ලැබෙනවද ? අපි සමාජ ආරක්ෂණ ජාලයට සහ දිළිඳු ජන කොටස් නඟා සිටුවීමට වැඩි මුදලක් යෙදවිය යුතුයි."


"ඒ, නිසා අපි අපේ මුදල්වලින් වැඩි ප්‍රමාණයක් යෙදවිය යුත්තේ ඛනිජ තෙල් සංස්ථාවට, ලංකා විදුලිබල මණ්ඩලයට හෝ ශ්‍රී ලංකන් ගුවන් සේවයට නොවෙයි. අපි දැන් ඒවට මුදල් නාස්ති කළා ඇති. දැන් අපි අඩු ආදායම්ලාභි ජනතාව නඟා සිටුවීම වෙනුවෙන් කටයුතු කළ යුතුයි."


"මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය මුදලට අදාළ පළමු මාස 6න් පසුව එළඹෙන ඇගයීමට පෙර සාකච්ඡා අවසන්කොට ණයහිමියන් සමග එකඟතාවයකට පැමිණීමට අපේක්ෂා කරනවා." 


"ණයහිමියන් සමග සාකච්ඡාවලදී කේවල් කිරීමේ හැකියාව ලබාගැනීමටත්, ණය ප්‍රතිව්‍යුහගතකරණයේ උපරිම ප්‍රතිලාභ ලැබීමටත්, ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසර 04ක ආර්ථික වැඩසටහන යටතේ පොරොන්දුවී ඇති වගකීම් ක්‍රියාවට නැංවිය යුතුයි." 


"අපිට තවමත් විශේෂයෙන් පෞද්ගලික ණයහිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා."


"මෙතැන් සිට අපි ණය ප්‍රතිව්‍යුහගතකොට සිව්වන වැඩසටහන ක්‍රියාවට නැංවුවත් එය ප්‍රමාණවත් නැහැ." 


"කොතරම් අවස්ථාවන් අපි ප්‍රයෝජනයට නොගෙන මඟහැර තිබේද? මෙයයි අවසන් අවස්ථාව අප එය ලබාගන්නේද? නැද්ද? යන්න තීරණය කළ යුත්තේ ඔබයි." 


"ඔබට එහි සැලසුම් සකස් කළ හැකියි. අපට ලැබෙනවා මාස 06ක ඇගයීමක්, නැවතත් මාස 06ක ඇගයීමක්."


"IMF වැඩසටහනට අනුකූලව අප ඉදිරියට යා යුතුයි. වර්ධනය පිළිබඳ වැඩසටහන සම්බන්ධයෙන් අපට තවදුරටත් සාකච්ඡා කළ හැකියි."

Post a Comment

0 Comments