හාල්-පිටි-සීනි මිල තවමත් වැඩී..

 

වී සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක කිලෝවක තොග මිල ගණන් අඩුවී ඇතත්, එම ආහාරවල සිල්ලර මිල ගණන් අඩු නොවීම නිසා පාරිභෝගික ජනතාවට තවමත් වැඩි මිලට භාණ්ඩ මිලදී ගැනීමට සිදුවී තිබේ.


මහ කන්නයේ අස්වනු නෙළීමත්, යල කන්නයේ ආරම්භයත් සමග වී කිලෝවක මිල මේ වනවිට රුපියල් 60 ත් 90 ත් අතර මිලක් දක්වා අඩුවී ඇතැයි ගොවීයෝ කියා සිටිති. නමුත්, වෙළෙඳපොළේ තවමත් සහල් කිලෝවක් අලෙවි කෙරෙන්නේ රුපියල් 180ත් 220ත් අතර මිලකටය. නාඩු වී කිලෝ 64ක වී මිටියක් මේ දිනවල අලෙවි කෙරෙන්නේ රුපියල් 5800කටය.


සහල් මෝල්වල නාඩුවී කිලෝවක් රුපියල් 170කට අලෙවි කරනු ලබන්නේය.


කෙසේ නමුත්, සිල්ලර වෙළෙඳුන් කියා සිටින්නේ ප්‍රවාහන ගාස්තු සහ විදුලි ගාස්තු වැඩිවීම නිසා සහල් මිල ගණන්ද ඉහළ ගොස් තිබෙන බවය.


තිරිඟු පිටි කිලෝවක තොග මිලද රුපියල් 210 ත් 215 ත් අතර මිලක් දක්වා අඩුවී තිබෙන අතර, සීනි කිලෝවක තොග මිල රුපියල් 232 කි. පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 315 කි.


නමුත්, සිල්ලර වෙළෙඳපොළේ සුදු සීනි කිලෝවක් රුපියල් 240ත් 250ත් අතර මිලකටත්, රතු සීනි කිලෝවක් රුපියල් 370 කටද, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 230 කටද, පරිප්පු කිලෝවක් රුපියල් 330ත් 340ත් අතර මිලකටත් අලෙවි කෙරේ.


මේ සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්නගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිලෙහි යම් අඩුවීමක් සිදුවී තිබෙන බවත්, සතොස සහ සුපිරි වෙළෙඳසල් බොහොමයක අත්‍යවශ්‍ය ආහාර සිල්ලර මිල ගණන් අඩුකර තිබෙන බවය.


එමෙන්ම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා පාලන මිලක් නොමැති නිසා දුර බැහැර සිල්ලර වෙළෙඳසල්වල විවිධ මිල ගණන් යටතේ ආහාර අලෙවි කෙරෙන බවද ඔහු කීවේය.

Post a Comment

0 Comments