බදු අඩු කලාමත් බනිනවා.. වැඩි කලාමත් බනිනවා.. රටට වැටුනේ අපි නිසා විතරක් නොවෙයි…

 

කාලයක් තිස්සේ පාර්ලිමේන්තුව නියෝජනය කළ 225ම රටේ ඇතිව තිබෙන ආර්ථික අර්බුධයට අඩු වැඩි වශයෙන් ඒ සඳහා දායක වී තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ එබැවින් මේ සම්බන්ධයෙන් එක රජයකට පමණක් බැනීමෙන් ඵලක් නොමැති බවයි.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අද (6) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය,

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  ඩිලාන් පෙරේරා (ශ්‍රී.පො.පෙ) – ගරු කතානායකතුමනි, සෙනසුරාදා විපක්ෂයේ අයගේ කතා කැපුවා. ඊට පස්සේ මහින්ද අමරවීර මැතිතුමාගේ උත්සවයට ගිහිල්ලා ජනාධිපතිතුමා කිව්වා රටේ ප්‍රශ්න විසඳන්න විරුද්ධ පක්ෂයට එකතුවෙන්න කියලා. රට බංකොලොත් වීම සම්බන්ධයෙන් හේතු හොයන්න පත්කරන කාරක සභාවේදීවත් තමන් හරිම අවංක බව ජනාධිපතිතුමාට පෙන්වන්න පුළුවන්. ආණ්ඩුවට යන්න බලාගෙන ඉන්න අය මෙහේ ඉඳගෙන ලකුණු දාගන්න හදනවා. ඒ නිසා මේක අවංකව කරනවා නම් කරමු. නැත්නම් අතහැරල දාමු.

පත්කළ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් (ශ්‍රී.පො.පෙ) – ගරු කතානායකතුමනි, මත්ද්‍රව්‍ය ව්‍යාප්තවීම වැඩිමී වැළැක්වීම සඳහා කාරක සභාව යෝජනා කළේ ජයන්ත සමරවීර මන්ත්‍රීතුමා. නමුත් ඒ නම ඇතුළත් වෙලා නැහැ. මේ නම් යෝජනා කරන්නේ පක්ෂ නායක රැස්වීමේදි කියල ඔබතුමා කිව්වා. නමුත් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 13 දෙනාට පක්ෂ නායක රැස්වීමේ නියෝජනයක් නැහැ.  ඒන නිසා එතන දේවල් ගැන අපි දැනුවත් නැහැ. පක්ෂ නායක රැස්වීමේ ප්‍රමාණය වැඩිකරන්න විපක්ෂ නායකතුමත්, සභානායකතුමත් එකඟ වුණා. නමුත් ඒ එකඟතාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ ගැන අපි කණගාටු වෙනවා.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකඅමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ) – මේ රට ආර්ථික අර්බුධයකට පත්වෙලා තිබෙන අවස්ථාවේදි  උදවු කරන්න කියල විපක්ෂයට ආරාධනා කළා. නමුත් ඇතැම් අවස්ථාවලදී  විපක්ෂය  තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරනවා. බදු අඩු කළාමත් බනිනවා. වැඩි කළාමත් බනිනවා. ඒ ගොල්ලන්ට අරමුණක් නැහැ. රටේ ආර්ථික අර්බුධය ගැන එක රජයකට විතරක් නෙවෙයි, පසුගිය කාලයේදී මේක නියෝජනය කළ 225ම අඩු වැඩි වශයෙන් දායක වෙලා තිබෙනවා. ඒ නිසා හොරාගේ අම්මගෙන් පේන අහලා වැඩක් නැහැ. මේක විවාදයකට ගන්නේ නැතුව සභාවේ වැඩටික කරගෙන යමු කියලා මම ඉල්ලීමක් කරනවා.

Post a Comment

0 Comments