ක්‍රිකට් ඔට්ටු මාෆියාවේ මහ මොළකරුවන් දෙදෙනෙක් ශ්‍රී ලංකා රැඳවුම් භාරයේ..- ටයිම්ස් ඔෆ් ඉන්ඩියා

 



ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඔට්ටු තැබීමේ මාෆියාවේ මහමොළකරු ලෙස සැලකෙන පාතාල නායක දාවුඩ් ඉබ්‍රාහිම්ගේ සහයෝගයෙන් ඉන්දියාව පුරා අන්තර්ජාලය ඔස්සේ නීතිවිරෝධී ඔට්ටු තැබීමේ ව්‍යාපාර පවත්වාගෙන ගිය එරට ප්‍රාන්ත ගණනාවක ආරක්ෂක අංශවලට අත්‍යවශ්‍ය පුද්ගලයන් දෙදෙනකු වන සෞරාබ් චන්දර්කර් සහ රවී උත්පාල් නමැති ඔහුගේ ගෝලයන් ශ්‍රී ලංකාවේ රැඳවුම් බාරයේ සිටින බව ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා‘ පුවත් සේවය වාර්තා කළේය.

ඉන්දීය ආරක්ෂක අංශ වෙනුවෙන් ජාත්‍යන්තර පොලිසිය කළ ඉල්ලීමක් මත ඔවුන් දෙදෙනා දැනට ශ්‍රී ලංකාවේ රඳවා තබාගෙන ඇතැයි ද, ඉදිරියේදී ඔවුන් පිටුවහල් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරන බව ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා‘ පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

ඔවුන් දෙදෙනාට එරෙහිව මුම්බායි නුවර කිසිදු නඩුවක් වාර්තා නොවූවද, ඔවුන් රඳවා තබා ගැනීම බුකීකරුවන් සහ මුම්බායි නුවර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අතර කතාබහට ලක්වී ඇති බව ද වාර්තා වේ.

ඉන්දීය බුද්ධි අංශ නිලධාරියකු ප්‍රකාශ කර ඇත්තේ මාස තුනකට පෙර රායිපූර් නුවර පොලිසිය විසින් සෞරාබ්ට සහ රවීට එරෙහිව පරීක්ෂාකාරීව සිටින ලෙසට නිවේදන නිකුත් කිරීමෙන් පසු සෞරාබ් සහ රවී එසේ රඳවා තබා ඇති බවය.

නීතිවිරෝධී ඔට්ටු තැබීමේ සහ සූදු ව්‍යාපාර සම්බන්ධ වෙබ් අඩවි රැසකට පහසුකම් සපයන පාතාල නායක ඩාවුද් ඉබ්‍රාහිම්ට සම්බන්ධතා ඇති මහාදේව් නමැති ඉන්දියාවේ ක්‍රියාත්මක වන අන්තර්ජාල ඔට්ටු තැබීමේ ජාවාරමේ සාමාජිකයන් වන සෞරාබ් සහ රවී ශ්‍රී ලංකාවේ රඳවා තබාගෙන සිටින බවට තොරතුරු වාර්තා වී ඇතැයි ඉන්දීය අපරාධ විමර්ශන අංශයේ නිලධාරියකු ද ප්‍රකාශ කර ඇතැයි ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා‘ පුවත් සේවය සඳහන් කර තිබේ.

මහාදේව් ඔට්ටු තැබීමේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් සිව්දෙනකු පසුගිය සතියේ චටිස්ගා හිදී මුදල් විශුද්ධිකරණ සිදුවීමක් සම්බන්ධව ඉන්දියාවේ මූල්‍ය බුද්ධි අංශය මගින් ද අත්අඩංගුවට ගෙන ඇත. ඉන්දියාවේ දේශපාලඥයන් සහ පොලිස් නිලධාරීන් කිහිප දෙනකු ද මහාදේව් ඔට්ටු තැබීමේ ජාවාරමට මුදල් යොදවා ඇතැයි සැක කෙරේ. චටිස්ගා පොලිස් වාර්තාවලට අනුව මිලියනයක් පමණ පුද්ගලයන් පිරිසක් පසුගිය වසරේදී ඉන්දියාවේ ස්ථාන 30කදී ඔට්ටු තැබිමේ ව්‍යාපාරයට සම්බන්ධව කටයුතු කර ඇත්තේ මහාදේව් මගින් ක්‍රියාත්මක කරන මෘදුකාංගය මගිනි.

Post a Comment

0 Comments