රටේ නීති පද්ධතිය ශක්තිමත් නොවන බැවින් මෙවැනි ළමා හිංසන ක්‍රියාවල නිරතවන්නන් කිසිදු බියකින් තොරව ඒවට පෙළඹීම දැකගත හැකි බවත්, ළමා හිංසනය සමාජයෙන් මුලින් උපුටා දැමීම සඳහා ශක්තිමත් නීති පද්ධතියක් ගෙනඒම සහ එවැනි පුද්ගලයින් කොටුකර ගැනීමට ආරක්ෂක අංශ සවිබල ගැන්විය යුතු බවත්, ඒවාට සම්බන්ධ පුද්ගයින්ට දැඩි දඩුවම් ලබාදිය යුතු බවත්, විපක්ෂ නායකවරයා පවසයි.
සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, ඒ සඳහා නව නීති ගෙනඒමට සහ ආරක්ෂක අංශ ශක්තිමත් කිරීමට විපක්ෂයක් ලෙස උපරිම සහය ලබාදෙන බවයි.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ, අවිසාවේල්ල ශාන්ත මරියා විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් “සක්වල” වැඩසටහන යටතේ 40 වැනි සුහුරු පන්ති කාමරය පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
මේ අතර වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා, මේ වසර තුළ 3 වැනි වතාවටත් විදුලි බිල සංශෝධනය කර සියයට 500කට ආසන්න ප්‍රතිශතයකින් විදුලි බිල වැඩි කර ඇති බවත්, මේ හේතුවෙන් ආර්ථික පීඩාවන් රැසක් හමුවේ දුක් විඳින අසරණ පවුල්වල දරුවන්ගේ ආහාර වෙනුවෙන් යොදවන මුදලින් සහ අධ්‍යාපනයට වෙන් කරන මුදලින් එම වැඩිකළ විදුලි බිල ගෙවාදැමීමට දෙමාපියන්ට සිදුව ඇති බවත් කියා සිටියා.
රජයේ පීඩාකාරී ආර්ථික පියවරයන් හේතුවෙන් අසහනයෙන්, දරිද්‍රතාවයෙන් උහුලාගත නොහැකි බරක් දරා සිටි ජනතාවගේ කරමත යළිත් බරක් පටවමින් අනීතිකව වැඩිකර ඇති විදුලි බිල යළි වෙනස් කළ යුතුව ඇති බවද විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කළා.

0 Comments