නිදහස් මැතිවරණයකින් පලස්තීන නායකත්වය තෝරා ගන්නවා මිස සන්නද්ධ බලවේග වලට තීන්දු කිරීමට ඉඩ දෙන්න බෑ…

 



ඊශ්‍රායෙල් පලස්තීන ගැටළුව සම්බන්ධයෙන් ආගමික දෘෂ්ටියකින් නොව මානුෂික දෘෂ්ටියකින් බලා කටයුතු කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා (17) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුව අමතමින් රණවක මහතා පෙන්වා දුන්නේ රාජ්‍ය ආයතන ගැන තීරණ ගැනීමට පෙර ඒ සඳහා විධිමත්, විද්‍යාත්මක විගණන ක්‍රියාවලියක් සිදු කළ යුතු බව ය. කාරක සභාවලින් කිසිදු වැඩක් නොවන බවට සමහරුන් විසින් සිදු කරන ප්‍රකාශ නිරවද්‍ය නොවන බවත්, ක්‍රම සහ විධි කාරක සභාවෙන් තමන් ඇතුළු පිරිස රජයට බිලියන ගණනක් පසුගිය කාලය තුළ රැගෙන දුන් බවත් පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේය.

ඊශ්‍රායෙල් – පලස්තීන ගැටළුව මධ්‍යස්ථ ආයතනයකින් පාලනය කළ යුතුයි.

ඊශ්‍රායල්, පලස්තීන ගැටළුව ඊළඟ සති කීපයේදී, අපි කැමති වුණත්, අකමැති වුණත් මේ රටේ දේශපාලනයට, මේ රටේ ආර්ථිකයට, ඒ වගේම මේ අන්තර්ජාතික, කලාපීය ක්‍රියාවලියට අතිශයින් බලපාන කාරණයක්. ගාසා තීරයේ දැනට දීලා තියෙන ඒ සම්බාධක පැනවීම, ජලය, විදුලිය, ඉන්ධන නොසැපයීම නිසා මිලියන දෙකකට අධික ජනතාවක් දරුවන්, මව්වරුන් අතිශය දුෂ්කර තත්ත්වයට පත්වෙලා තියෙනවා. මේක කිසිම ආකාරයක යුද්ධය පිළිබඳ, ජිනීවා සම්මුති වලට හෝ වෙනත් ජාත්‍යන්තර නීතියකට අනුකූල තත්ත්වයක් නෙවෙයි. ඒ නිසා මේ පිළිබඳව ආගමික කෝණයකින් බලන්නෙ නැතුව, අපි මේ පිළිබඳ මානුෂීය දෘෂ්ටි කෝණයකින් බලලා, මේ සැපයුම් වහාම ලබා දීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව කටයුතු කල යුතුයි, පාර්ශවයක් ගන්නේ නැතුව. ඒ වගේම මේ පිළිබඳ තව දුරටත් ඔබ්බට ගිහිල්ලා දැන් එක පැත්තකින් ගසා තීරයේ ජනතාව ප්‍රාණ ඇපයට හසු වෙලා තිබෙනවා. බලගතු හමුදාවක, ඊශ්‍රායල් හමුදාවේ. අනිත් පැත්තෙන් හමාස් සංවිධානය, දෙසීයකට ආසන්න ප්‍රාණ ඇපකරුවන් පිරිසක්, ඊශ්‍රායල් හමුදා භටයින් ඇතුළුව රඳවාගෙන ඉන්නවා. මේක සාමකාමී මාර්ගයකින් මුදවා ගැනීම සඳහා, ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් වෙනවා ඇරෙන්න යුධමය වශයෙන් වලට ඉඩකඩ ලබා නොදිය යුතුයි. ලංකාවේ ස්ථාවරය, උනේ අතීතයේ, (මන් දන්නෙ දැන් මොකද කියලා) ස්වාධීන පලස්තීන රාජ්‍යයක් හා ස්වාධීන ඊශ්‍රායල් රාජ්‍යයක් පිළිගැනීම. මොකද පලස්තීන ජනතාවට කිසියම් ආකාරයකට ආත්ම ගරුත්වයෙන් යුතුව ඔවුන් කාලාන්තරයක් ජීවත් වූ කලාපය නිසා, ඓතිහාසිකව හිටපු ස්ථානය නිසා. ඔවුන්ටත් ඒ ආත්ම ගරුත්වය හා දේශපාලන ගරුත්වය ඇතුව ජීවත්වීමට අවශ්‍යයි. ඒ වගේම ඊශ්‍රායලයත් එවැනිම ඒ බිමේ තිබෙන බව පිළිගනිමින් මේ රටවල් දෙකේ විසඳුම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතුයි කියලා අපි හිතනවා. ඒ වගේම නිදහස් මැතිවරණ ක්‍රියාවලියක් මගින් පලස්තීනයේ නායකත්වය තෝරා ගන්නවා විනා සන්නද්ධ බලවේග වලට එහි ජනතාවගේ ඉරණම තීන්දු කිරීමට ඉඩ දෙන්නට බැහැ. ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට සියලු දෙනාම කටයුතු කළ යුතුයි. ඒ වගේම අද ගාසා තීරය හා බටහිර ඉවුරේ මිලියන පහක්, ලක්ෂ පනහක් පමණ ජනතාව ජීවත් වෙනවා. අපි අමතක කරන්න හොඳ නැහැ. ලක්ෂ හැටක අනාථයෝ පිරිසක් අවට රටවල්වල ජීවත් වෙනවා. මේ අනාතයින්ට තමන්ගේ මව්බිමට පැමිණීම අවශ්‍යයි. අන්න ඒක සහතික කිරීම තමයි මේ අන්තර්ජාතික ප්‍රජාවේ බලපෑම විය යුත්තේ. ඒ වගේම ඒබ්‍රහමික ආගම්වල ප්‍රධාන මූලස්ථානය වෙච්ච ජෙරුසෙලම. ඒ කියන්නේ යුදෙව්, ක්‍රිස්තියානි හා ඉස්ලාමීය ආගම්වල. මේක එක කණ්ඩායමක් පාලනය කිරීම නිසා මේ පහුගිය අවුරුදු දෙදාහක කාලය තුළ ලෝකයේ ඇතිවෙච්ච සෑම ගැටුමකම යටින් තිබිච්ච දේ තමයි මේ ආගමික සංස්කෘතික ගැටුම. ඒ නිසා මේක ඇතිවෙලා තියෙන ඒ නිසා මේක මධ්‍යස්ථ් එක්සත් ජාතීන්ගේ වගේ ආයතනයක් මගින් මේ ආගමික නිදහස තහවුරු වෙන ආකාරයට මෙය පාලනය කිරීමක් සිදුවිය යුතුමයි. එහෙම නැත්නම් මේක අනාගතයටත් ඇදි ඇදී ගිහිල්ලා අපේ රටවල් වලටත් ඉදිරි කාලයේදී මේකට ඒ භයානක ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

රාජ්‍ය ආයතන ගැන තීරණ ගන්න පෙර විධිමත්, විද්‍යාත්මක විගණනයක් අවශ්‍යයි.

කෝපා ආයතනය ගැන අවුරුදු සීයක් පිරීම ගැන වාර්තාවක් අපේ සභාපතිතුමා ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේදී 1923 දී රාජ්‍ය ආයතන දහයයි තිබුණේ. දැන් රාජ්‍ය ආයතන 1200 ක් පමණ කෝපා කෝප් ආයතන වලින් දැන් විගණනයට වෙනවා. ඒ වගේම දැන් ‍රාජ්‍ය ආයතන පිළිබඳ මේ සමාජයේ මතවාදයක් ඇතිවෙලා තියෙනවා. මේ රාජ්‍ය ආයතන අකාර්යක්ෂමයි, දූෂිතයි. මේ පිළිබඳ හොයා බැලීමට තියෙන මේ පාර්ලිමේන්තුව ප්‍රමාණවත් පියවර ගන්නේ නැහැ කියලා. ඒ නිසා මතයක් ඇතිවෙලා තියෙනවා මේ ‍රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කළ යුතුයි කියලා. ඒ වගේම ආණ්ඩුව ඉතාමත්ම අවිධිමත් ආකාරයට රාජ්‍ය ආයතන ගණනාවක් විකුණා දාන්න, වසා දමන්න, ඒ වගේම වෙනත් ආකාරයක ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ඉන්නවා. අපේ යෝජනාව අපේ ආර්ථික ස්ථායිකරණ කමිටුවෙත් යෝජනාව වුණේ ඒකයි. මේ පිළිබඳව විද්‍යාත්මක එකඟතාවයකට එන්න ඕන. පවුල් දාහතර ලක්ෂයක ඉරණමක් රාජ්‍යය ඉදිරියට ගෙනයාම පිළිබඳ ප්‍රශ්නයක්. මේ ‍රාජ්‍ය ආයතන 1200 පිළිබඳ විධිමත් කළමනාකරණ නිගමනයක්, විගණනයක්, එහෙම අවශ්‍යයි. ඒක කෝප් එක මගින් අපි නියෝගයක් කරලා, අපට මතකයි ඒක මුදල් අමාත්‍යාංශයෙන් කරගෙන ගියා කිසියම් දුරකට. මම දන්නේ නැහැ ඒකේ වර්තමාන තත්වය මොකක්ද කියලා. එවැනි ආකාරය විගණනයකින් පස්සේ, ආයතන විගණනයකින් පස්සේ අපි අනිවාර්යෙන්ම වසා දැමිය යුතු ආයතන මොනවාද? ඒකාබද්ධ කළ යුතු ආයතන මොනවාද? වර්ධනය කරන්න ඕනේ. වැඩි දියුණු කරන්න ඕන ආයතන මොනවද? ඒ වගේම අඩු කරන්න ඕන ආයතන මොනවද? සංකෝචනය කරන්න ඕන ආයතන මොනවාද? පුද්ගලීකරණය කරන්න ඕන ආයතන මොනවාද? කළමනාකරණය වෙනස් කළ යුතු ආයතන මොනවද කියලා. තෝරා ගැනීමකින් තොරව අපි තැනින් තැනින් තෝරගෙන විකුණන්න ගියොත්, තැනින් තැනින් තෝරගෙන, වසා දමන්න ගියොත්, රටේ බලගතු ප්‍රශ්නයක් පැන නගිනවා. මේ ළඟදි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වසා දැම්මා. 2400 කට අධික පිරිසක් පාරට වැටුණා. ඒ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව එතන්ට වැටෙන්න මේවට සේවකයෝ බන්දපු ඒ දේශපාලකයින් වගකිවයුතු බව ඇත්ත. නමුත් ඇත්තටම මොකක්ද ආණ්ඩුව කළ යුතුව තිබුණේ? ඉංජිනේරු සේවාවන් සපයන ආයතන පහ හයක් රජයට තියෙනවා. මේ ආයතන සියල්ලම එකට එකතු කරලා, එක ආයතනයක් හදලා, ඉන් පස්සේ මේ කටයුත්ත කළා නම්, මේකේ විද්‍යානුකූල එළඹුමක් තියෙනවා. දැන් කළේ, මේ ආයතනවල මිනිස්සුන්ව එළියට දැමීම පමණයි.

රාජ්‍ය ආයතනවලින් ආදායම් උපයන හැටිත් කාරක සභාවලින් වැඩ කරන හැටිත් අපි පෙන්වා දුන්නා

2015, අපි, භාර ඉඩම් ගොඩකිරීමේ සංවර්ධනය කිරීමේ සංස්ථාව ඉංජිනේරු ආයතනයක් හැටියට ඒ ආයතනය පාඩු ලබන ආයතනයක් හැටියට තිබුණේ. අපි බිලියන ගාණක ලාභ ලබන ආයතනයක් බවට පත් කළා. ඒ විතරක් නෙමෙයි ශක්තිමත් ඉංජිනේරු ආයතනයක් බවට එම ආයතනය පරිවර්තනය කළා. කොහොමද කළේ? කළමනාකරණයේ වෙනස්කම් වලින්. ඒ නිසා මේ රාජ්‍ය අංශයේ ක්‍රියාකාරීත්වය කරනකොට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තව විදේශික කණ්ඩායමක් ඇවිල්ලා බෙදා හැරීම් කළත් ලංකා විදුලිබල සමාගම් පහළොවකට කැඩුවත් ජල සම්පාදන මණ්ඩලය කොටස් දෙකකට කඩලා විකුණුවත් එක ඇතුව හෝ නැතුව වික්කත් මේ ප්‍රශ්නෙ විසඳෙන් නෑ. මේකට අපි විද්‍යාත්මක එළඹුමක් කළේ නැත්නම්. මොකද පවුල් දාහතර ලක්ෂයක් මේ රාජ්‍ය අංශයෙන් යැපෙනවා විතරක් නෙවෙයි. මේ පිළිබඳව අපිට බලගතු සමාජ පීඩනයකට රට ලක් වෙනවා. ඒ වගේම මේ සේවක විගණනයක්, වර්ක් ඔඩිට් එකක්, අත්‍යවශ්‍ය සේවා මොනවද? අත්‍යවශ්‍ය නොවන සේවා මොනවද කියලා අපේ සේවක පිළිබඳ යම්කිසි විගණනයක් කරලා ඒ අනුව ක්‍රියා කරනවා මිසක් අවුරුදු පහකට රටින් යන්න, එහෙම නැත්නම් වී ආර් එස් එකක් දෙන්න කටයුතු කිරීම තුළින් සිද්ධ වෙන්නේ මොකක්ද? අත්‍යවශ්‍යම රාජ්‍ය ආයතන ගෙනියන්න ඉන්න අත්‍යවශ්‍යම මිනිස්සු ටික අද රටෙන් එළියට යනවා. ආචාර්ය, මහාචාර්යවරු, විශේෂඥ වෛද්‍යවරු, වරලත් ඉංජිනේරුවෝ පමණක් නෙවෙයි, අත්දැකීම් බහුල රාජ්‍ය සේවකයෝ බොහෝ දෙනෙක් රට හැර යනවා. අන්තිමට මෙතන අපිට ඉතුරු වෙන්නේ, රොඩු බොඩු ටිකක් විතරයි. රට ගෙනියන්න ඒකට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ රාජ්‍ය ආයතන වලට ඒක, අර අයි. එම්. එෆ්. යෝජනාවෙත් තියෙනවා. ප්‍රධාන රාජ්‍ය ආයතන පනස් දෙකට වෘත්තීය නායකත්වයක් දෙන්න කියලා දේශපාලන පත්වීම් කරන්න එපා කියලා. ඒ වගේම ඇගයීම් ක්‍රියාවලියක් හඳුන්වා දෙන්න කියලා. ඉතින් මේ ක්‍රියාවලියත් මේ රාජ්‍ය ආයතන ඉදිරියට ගෙන යාමට ඉතා අවශ්‍යයි. වගේම ප්‍රසම්පාදනය ඇතුළු සියලු තොරතුරු වල විවෘතභාවය දැන් රාජ්‍ය ආයතනවල ඉල්ලා තිබෙන දෙයක්. ඒකත් මේ කරන ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රධාන ක්‍රියාවලියක් හැටියට සිදුවිය යුතුයි.

ඒ වගේම මෙතනත් පැන නැගුණු කාරණයක් තියෙනවා. (මමත් ක්‍රම සහ විධි කමිටුවේ සභාපති.) මේවගෙන් කිසි වැඩක් වෙලා නෑ කියලා. නමුත් අපි පසුගිය කාලේ බිලියන ගාණක් රජයට හොයලා දුන්නා. වැඩ කෙරෙන හැටි පෙන්නුවා. ඒක නිසා අපි ඉල්ලා හිටිනවා මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ විපක්ෂයේ අපි හැමෝම ප්‍රධාන ආදායම් උපදවන ආයතන තුන සම්බන්ධයෙන් සෘජු වැඩි දේශපාලන අධිෂ්ඨානයෙන් යුතු පියවර අපි ඉදිරියට ගමු.

Post a Comment

0 Comments