කලා නිර්මාණයක් බිහිකිරීම ඉතාමත් දුෂ්කර කාර්යයක් වේ. එහෙත් එයට විචාරයක් ඉදිරිපත් කිරීම එතරම් දුෂ්කර නොවේ. එමෙන්ම තව කෙනෙකුගේ නිර්මාණයකට විවේචන ඉදිරිපත් කරන සෑම කෙනෙකුටම, තිර රචනයක් හෝ අධ්‍යක්ෂණයක් සිදුකිරීමට හැකියාවක් ද නැත. මේ යථාර්ථය තේරුම්ගෙන, පහත විචාරය ඉදිරිපත් කරන්නේ "රාණි" චිත්‍රපටය නැරඹූ ප්‍රේක්ෂකයෙක් ලෙසත්, 80-90 දශක වල සිදු වූ බිහිසුණු තත්වය පිලිබඳ සැලකියයුතු අවබෝධයක් ඇති පුද්ගලයෙක් ලෙසත් ය.
සාමාන්‍යයෙන් සිදුවන්නේ නිර්මාණයක් සඳහා කථාවක් ගොඩනැගුණු පසු, තිර රචනයක් සිදුකොට, ඒ සඳහා අධ්‍යක්ෂණයට පූර්ව සූදානමක් ඇතිව නිෂ්පාදකවරයෙක් සොයාගෙන යෑම වේ. සුදුසු නිෂ්පාදකවරයෙක් සොයාගැනීමට අපොහොසත්ව, ඉතා නිර්මාණශීලී තිර පිටපත් රාශියක් අදටත් වේලෙන බව නොරහසකි. මේ බව ඉතා හොඳින් දන්නා ප්‍රවීන රංගන ශිල්පිනියක් වන ස්වර්ණා මල්ලව ආරච්චි විසින් මනෝරාණිගේ කථාවට පලමුව නිෂ්පාදන ආයතනයක් එකඟකරගෙන, දෙවනුව අශෝක හඳගම නමැති ප්‍රවීන අධ්‍යක්ෂකවරයා පලමුව අධ්‍යක්ෂණයටත්, දෙවනුව තිර රචනයටත් එකඟකරගෙන ඇත. ස්වර්ණාගේ අරමුණ වී ඇත්තේ නැසීගිය මනෝරාණි සරවනමුත්තු මහත්මියට සාධරණයක් ඉටුකිරීම උවත් සමස්ථ නිර්මාණය හරහා එය සිදුවී ඇත්‍දැයි විමසාබැලිය යුතුය.
වෘත්තියෙන් වෛද්‍යවරියක් වන මනෝරාණි සරවනමුත්තු විවාහ වන්නේ කලාකරුවකු හා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වූ ලූෂන් ද සොයිසා සමගය. ඔවුන් දෙපලට දාව රිචඩ් ද සොයිසා දක්ෂ කලාකරුවෙක්, බහු භාෂා රූපවාහිනී නිවේදකයෙක්, එඩිතර ජනමාධ්‍යවේදීයෙක් වගේම මානවහිමිකම් ක්‍රියාකාරිකයෙක් විය. 80 දශකයේදී සිදුවූ ජනතා විමුක්ති පෙරමුණේ දෙවන කැරැල්ල මැඩපැවැත්වීමට ප්‍රේමදාස රජය විසින් අනුගමනය කල මර්ධනකාරී ක්‍රියාපටිපාටියට එරෙහිව රිචඩ් ද සොයිසා ජනමාධ්‍ය හරහා සටන් වැදුනේය. ඉන්ටර්ප්‍රෙස් ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා වාර්තාකරු ලෙස සේවය කරමින්, ප්‍රේමදාස රජය දැඩිලෙස විවේචනය කලේය. 1990 වසරේ පෙබරවාරි 18 වැනි දින, ආයුධ සන්නද්ධ පිරිසක් පැමිණ රිචඩ්ව පැහැරගෙන ගොස්, ඝාතනය කලේය. තම එකම දරුවා නැති වූ කණගාටුවෙන් සිට, තම පුතාගේ ඝාතකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පමණක් නොව, මෙලෙස මර්ධනකාරී ලෙස ඝාතනය වූ පිරිස් වල මව්වරු, බිරින්දෑවරු සමග පෙරමුණු බැඳ, මර්ධනයට එරෙහිව මානවහිමිකම් ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කල රිචඩ්ගේ මව වූ මනෝරාණිද 2001 වසරේදී මියගියේය. රිචඩ්ගේ ඝාතනයට චෝදනා ලැබ සිටි, ප්‍රේමදාස රජයේ සිටි ජේෂ්ඨ පොලිස් අධිකාරී රොනී ගුණසිංහගේ කණ්ඩායමේ සාමජිකයන් සියලුදෙනා, වසර 15කට පසුව, එනම් 2005 වසරේදී, අධිකරණය විසි ඝාතන චෝදනා වලින් නිදොස්කොට, නිදහස් කෙරුනි.
රාණි චිත්‍රපටය තුලින් ඉහත අතීත සිදුවීම් මාලාව, අතීත වාර්ථාකරණයක් ලෙස ඉදිරිපත් කර ඇත. රිචඩ්ගේ එඩිතර වාර්ථාකරණයත්, පුතු නැති දුකෙන් සිටින මනෝරාණිගේ වීරත්වය මතුකිරීමටත් වඩා ප්‍රේමදාස රජයේ බිහිසුණු බව මතුකිරීමත්, ජනතා විමුක්ති පෙරමුණේ රතු පැල්ලම් මකාදැමීමත් මෙයින් මතුකිරීමට උත්සාහ කරඇති බව පෙනේ.
රිචඩ් ද සොයිසාව එවකට පැවති ආණ්ඩුවේ ආරක්ෂක කණ්ඩායමක් විසින් ඝාතනය කලත්, ඒ කාලයේ සිදුවූ අනෙකුත් ඝාතනද ප්‍රේමදාස රජය විසින් සිදුකර, තුණ්ඩු කෑල්ලක් හරහා එහි වගකීම ජනතා විමුක්ති පෙරමුණට පැවරූ බව, රාණි චිත්‍රපටය හරහා ඔප්පුකිරීමට උත්සාහ ගෙන ඇත. ජනතා විමුක්ති පෙරමුණ විසින් 88-89 කාලවකවානුව තුල සිදුකල මනුෂ්‍ය ඝාතන, පොදු දේපල හානි කිසිලෙසකින් සාධරණීකරණය කල නොහැක. ප්‍රේමදාස රජයේ ම්ලේච්ඡත්වය මෙන්ම මහින්ද රාජපක්ෂ යනු මනෝරාණිගේ කඳුලු කතාව, සිය දේශපාලනය වෙනුවෙන් භාවිතාකරන බවත්, එය අවස්ථාවාදීත්වයක් ලෙසත් සියුම්ව ඉදිරිපත් කර ඇත. ජනතා විමුක්ති පෙරමුණ හැර සියලු දේශපාලන බලවේග වලට අඩු, වැඩි වශයෙන් පහර වැදීමටත් වඩා මෙයින් බරපතලම අසාධාරණය සිදු වී ඇත්තේ මේ වනවිට ජීවතුන් අතර නැති, රිචඩ්ට හා මනෝරාණිට වේ.
මනෝරාණි හා ලලිත් ඇතුලත්මුදලි අතර සාමාන්‍ය මිත්‍රත්වයකට එහාගිය සම්බන්ධයක් පැවතුනේද යන්න ප්‍රශ්නාර්ථයක් එක්විටෙක මෙයින් ඇතිකර ඇත. එමෙන්ම රිචඩ් සමලිංගිකයෙක් බවත්, ඔහු සමලිංගිකත්වයේ "ස්ත්‍රී" ප්‍රභේදයේ සිටි බවත් මෙයින් සෘජුවම ඉදිරිපත් කර ඇත.
චිත්‍රපටය නිර්මාණය වන කාලවකවානුව වන 2023-24 සමයේදී අනාගත ජවිපෙ ඇතුලත් ජාතික ජන බලවේග පාලනයක් ඇතිවෙන බවට ඉඟි පහල වී තිබුනත් එහි පැවති අවිනිශ්චිතබව නිසා, අධිකරණය විසින් නිදොස් කර තිබියදී, රිචඩ්ගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රේමදාස රජයට චෝදනා කිරීමෙන් ඇතිවිය හැකි නීතිමය ගැටළු වලට සාර්ථකව මුහුණ දීමට අවසාන ජවනිකාව සැකසුවේ සම්පූර්ණ කථාවම උඩුයටිකුරු කරමින් වේ. එනම් රිචඩ් විසින් ප්‍රේමදාස පාලනය ගැන ජාත්‍යන්තරයට වාර්තා කිරීම පිලිබඳ ප්‍රේමදාස දැඩි තරහකින් සිටි නමුත්, ප්‍රේමදාසගේ හෝ රංජන් විජේරත්නගේ උපදෙස් වලින් තොරව, රිචඩ්ගේ සමලිංගිකත්වය ගැන දැන, ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනෙකු සිය කාම ආශා ඉටුකරගැනීමට රිචඩ්ව පැහැරගෙන ගිය බවත්, එය රිචඩ් විසින් හෙලිකරයි යන සැකය නිසා එකී ආරක්ෂකයන් විසින් රිචඩ්ව ඝාතනය කරන්න ඇතැයි යන සැකය ප්‍රේක්ෂකයන්ට ඉතුරුකරමින් චිත්‍රපටයේ සමාප්තිය සනිටුහන් කර ඇත.
මෙම චිත්‍රපටය විකාශනය වනවිට මනෝරාණි ජීවතුන් අතර සිටියේ නම් තමාට කෙසේ වෙතත් නිර්භීත වාර්තාකරණයක් නිරත වී අසාධාරණ ලෙස ඝාතනය වූ සිය පුතුගේ පෞර්ෂත්වයට වූ හානියට එරෙහිව, "රාණි" චිත්‍රපටයට අපාහස නඩු පැවරීමට බොහෝදුරට ඉඩ තිබුනි. ඒනිසා ස්වර්ණා අරමුණු කරගත් සාධරණය වෙනුවට, රාණි හරහා මනෝරාණිට සිදුවී ඇත්තේ අවමානයක්ද?
0 Comments