දේශගුණික විපර්යාසවලට මුහුණු දෙමින් කටුක තත්ත්වයන් යටතේ වුවත් සාර්ථක වගාවක් පවත්වා ගත හැකි අයුරින් මෙරට කෘෂිකර්මය සකස් කරන බව කෘෂිකර්ම හා වැවිල් කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
දේශගුණික වෙනස්කම් මත නව කෘෂිතාක්ෂණය ඉහළ නැංවීම සම්බන්ධයෙන් සාක් කලාපීය කෘෂිකර්ම නියෝජිත සමුළුව ඉකුත් 27දා ගැටඹේදී පැවති අතර ප්‍රධාන ආරාධිතයා වශයෙන් ඊට සහභාගීවූ අමාත්‍යවරයා එහිදී මේ බව සඳහන් කළේය.
ගෝලීය දේශගුණික වෙනස්කම් හමුවේ ආසියානු කලාපයට දැනී ඇති බලපෑම ශ්‍රී ලංකාවටත් පැහැදිලිව දැනී ඇතැයි පැවසූ අමාත්‍යවරයා මෙරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වන විටත් ඊට විසඳුම් සකස් කර ගන්නා බව කීවේය. ඒ අනුව අඩු ජල ප්‍රමාණයක් භාවිත කොට කෙටි කාලයක් තුළදී ඉහළ අස්වනු ලබා ගත හැකි වී ප්‍රභේද කිහිපයක් සාර්ථකව අත්හදා බැලීම් කර ඇතැයි ඒ මහතා සඳහන් කළේය.
නමුත් හුදකලා වී විසදුම් කරා යොමු විය නොහැකි යැයි පෙන්වා දුන් ඒ මහතා ආසියානු කලාපය වශයෙන් ගෝලීය දේශගුණික විපර්යාස සඳහා මුහුණ දිය යුතු යැයි කීවේය. ගොවිතැන සඳහා යොදා ගන්නා උපාංග තාක්ෂණය හා යෙදවුම් අනාගතයට උචිත පරිදි වෙනස් කර ගැනීම කාලීන අවශ්‍යතාවයක් යැයි ද ඔහු එහිදී පෙන්වා දුන්නේය.
ගොවියන් පුහුණු කිරීම අඛණ්ඩව සිදු කළ යුතු බව ද අවධාරණය කළ ඒ මහතා පරීක්ෂණ හා නව තාක්ෂණය නොපමාව කෘෂිකර්මයට යොදා ගැනීම අතිශය වැදගත් යැයි ද එහිදී පෙන්වා දුන්නේය.
තිරසාර කෘෂිකර්මයක් සඳහා යොමුවීමේදී ජාත්‍යන්තර ප්‍රතිපත්ති සම්පාදනය ඉතා වැදගත් බවත් ඒ සඳහා හැකි උපරිම අයුරින් ශ්‍රී ලංකාවේ දායකත්වය ලබා දෙන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
0 Comments