දැනට ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්රී ලංකා රජය අතර වන ගිවිසුම ඉදිරියේ දී පිහිටුවනු ලබන ජාතික ජන බලවේගය රජයක් යටතේ සමාලෝචනයට ලක් කරන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.
ඒ සඳහා වන ජනවරමක් ලබා දෙන ලෙස ඉදිරි මැතිවරණයේදී තම පක්ෂය ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඒ අනුව කටයුතු කරමින් ගිවිසුම සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කරන බවද හෙතෙම පැවසීය.
හෙතෙම මේ බව කියා සිටියේ මේ දිනවල ඔහු නිරත වන ඇමරිකානු සංචාරය අරඹමින් ලොස්ඇන්ජලිස් නගරයේ පැවති ජන හමුවක් අමතමිනි.
2020 වසරේ දී ශ්‍රී ලංකාවට ණය අර්බුදයකට මුහුණ දුන් විට බංකොලොත් රටක් යයි ප්‍රකාශයට පත්කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් හමුවට යාමට කලින් එම අර්බුදයට ගතහැකි ක‍්‍රියාමාර්ග තිබූ බවත් හෙතෙම එහිදී පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවේ වැඩිම ණය හිමිකරුවන් වන චීනය, ඉන්දියාව හා ජපානය සමග වෙන් වෙන්ම සාකච්ඡා කළේ නම් මුල්‍ය අරමුදලේ අත දැමීමකින් තොරව එම ණය ගෙවීම පහසු කර ගැනීමේ හැකියාවක් තිබූ බවත් ඔහු කියා සිටියේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වීම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන වැඩපිළිවෙළක් මිස රටට ඒ මොහොතේ අත්‍යවශ්‍ය ක්‍රියාවලියක් නොවූ බවද හෙතෙම එහිදී තව දුරටත් පැවසීය.
මෙරට විදේශ ණය ගෙවීම සඳහා ඩොලර් ආදායම ඉහළ නංවා ගත යුතුම දැනට ඩොලර් ආදායම් ලැබෙන්නේ වසරකට ඩොලර් බිලියන 12 ක් තරම් කුඩා ප්‍රමාණයක් බවත් ඔහු එහිදී තවදුරටත් පෙන්වා දුන්නේය.
0 Comments