තුන්කල් දකින කමල්ගේ "ඔබයි මමයි" තුලින් කලාකරුවන්ට සවියක්




70 දශකයේ අග භාගයේදී වේදීකාව තුලින් කලා ලොවට අත්පොත් තබා, 1981 වසරේ ගාමිණී ෆොන්සේකා මහතාගේ "සාගරයක් මැද" චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණපොවමින් ලක් සිනමාවට පිවිසි ඒ අපූරු ජනප්‍රිය රංගධරයා, නමින් කමල් අද්දරආරච්චි වේ.

කමල් යනු ආකර්ෂණය, දක්ෂතාවය යන නිර්නායක දෙකෙන්ම ඉදිරියෙන් සිටින, එක හා සමානව ජනප්‍රියත්වය දශක 4 කට වැඩි කාලයක් රඳවාගෙන සිටින දක්ෂ කලාකරුවෙකි.  එදා මෙදා තුර හෙල සිනමාවේ බිහිවූ දක්ෂතම ආදරවන්තයා ලෙස බොහෝ දෙනා කමල්ව හඳුන්වන අතර ආදරවන්තයාගෙන් ඔබ්බට ගොස් ලැබෙන ඕනෑම චරිතයක් තාත්විකව රඟදැක්වීමට තමාට ඇති හැකියාව ඔහු විවිධ චරිත හරහා ඔප්පු කර හමාරය. ඉර පායා, වෙද හාමිනේ, දඬුබස්නාමානය, හිරුට මුවාවෙන්,A9, ඇසල කළුවර වැනි ටෙලි නාට්‍ය වල මෙන්ම සාගරයක් මැද, පාරමිතා, සප්ත කන්‍යා, කලු සුදු මල්, ලොකු දුව, Colours, අසනි වර්ෂා, දෝණි, අග්නිදාහය, ගරිල්ලා මාකටින්, ජුලියට්ගේ භූමිකාව, ඇඩ්රස් නෑ, ඝරසර්ප, ගින්නෙන් උපන් සීතල වැනි චිත්‍රපට වලද කමල්ට ලැබුනු චරිත එකිනෙකට වෙනස් චරිත වේ. 

ලැබුනු සෑම චරිතයකට උපරිම සාධාරණයක් ඉටුකල කමල්, රංගනශිල්පියෙක් පමණක් නොව, දක්ෂ ගායකයෙක් මෙන්ම දක්ෂ වැඩසටහන් ඉදිරිපත්කරන්නෙක් ද වේ. මෙරටට Reality Show කලාව හඳුන්වා දුන් පිකාසෝ ලෙසද කමල් ඉතිහාසගත වේ. ප්‍රධාන නාලිකා 3කම, විවිධ කාල වලදී, මෙම Reality shows රසිකයන්ට ඉදිරිපත් කරමින්, ඒවා ජනප්‍රියත්වයෙන් ඉහලම තැනට ඔසවා තබන්නට කමල්ට හැකි වූ අතර ඒ තුලින් කමල්ව අභිබවා යන්නට හෝ අඩුම වශයෙන් සාර්ථක ලෙස කමල්ව අනුකරණය කිරීමටවත් අදටත් කිසිවෙක් නොහැකි වී ඇත. මේ විතරක් නොව, කමල්ගේ ගායන හැකියාවද උම්මාද වූ, තුන්සිත දැහැන් ගතවෙලා, කෝ මගෙ ජුලියට් වැනි වෙනස් ගීත වලින් කමල් සාක්ෂාත් කර ඇත.

රංගනශිල්පීන් හා ගායකයන් කොපමණ සිටියත් ගීත ගායනා කරමින් ඊට නොදෙවෙනි රංගනයක නිරතවීමට හැකි එකම ලාංකික තරුව කමල් අද්දරආරච්චි වේ. තමාගේ ඒ විරල කුසලතාව භාවිතා කරමින්, දශක 4කට වැඩි සිය කලා ජීවිතයේ තමා සම්බන්ධ වූ චිත්‍රපට හා ටෙලිනාට්‍ය වල ගීත, තමා විසින්ම ගායනා කරමින්, එම නිර්මාණ වලට දායකත්වය ලබාදුන් හෝ එයට උපරිම සාධාරණයක් කල හැකි දක්ෂ රංගන ශිල්පිනියන් සමඟ එකී ගීත වලට නර්තනයක් ඉදිරිපත් කරමින්, ඉතා ආකර්ෂණීය ප්‍රසංග මාලාවක් "ඔබයි මමයි" ලෙස  සංවිධානය කර, එහි පලමු ප්‍රසංගය පසුගිය සැප්තැම්බර් 16 වන දින බත්තරමුල්ල Waters Edge හිදී සජීවී ගීත ප්‍රසංගයක් ලෙස පවත්වන ලදී.

මෙම ප්‍රසංගයෙන් ලද ආදයමෙන් මිලියන 1.2ට අධික ප්‍රමාණයක්, සිය කලාදිවිය තුල හමු වූ, විවිධ පාර්ෂව වලට අත්වැලක් ලබාදීමට යොදාගෙන ඇත. ඒ අතර මේ වනවිට දැඩි අසනීප තත්වයේ පසුවන සුමින්ද සිරිසේන, ප්‍රියංකර පෙරේරා වැනි සිය සමකාලීන කලාකරුවන්ට මෙන්ම, කේමදාස මාස්ටර්ගේ පවුලටත්, සිය පාසල් වියේ රංගන ගුරුවරයා වන, මේ වන විට සැදෑ සමයේ පසුවන ගාමිණී සමරකෝන් මහතාටත්, සිය පාසල් මිතුරෙකු වන, දැනට ජීවතුන් අතර නැති, හේමන්ත පතිරාජ මහතාගේ පුත්‍රයාත් වේ.

කමල් සිය ප්‍රසංගය, අතීතය මෙනෙහි කිරීමට පමණක් සීමා නොකර, වර්තමානයේද දැඩි දුෂ්කරතා වලින් පෙලෙන කලාකරුවන්ට සවියක් වීමටත්, කලාකරුවන්ගේ අනාගතය වෙනුවෙන්, කලාකරුවන්ගේ අරමුණු, ආකල්ප හා දක්ෂතා වර්ධනය කිරීමට රංගන පාසලක් ආරම්භ කිරීමටත් කමල් කටයුතු කරමින් සිටී.  හෙල සිනමාව ඔසවා තැබීමටත්, එනම් තුන් කල් දැක්මකට, මේ ප්‍රසංගය මගින් ඉදිරිපත් කරන සාර්ථක කලාකරුවාගේ කලා ගමනේ සාරංශය, ආදර්ශයක් කරගත යුතුය.

- යෙනුක සිසිල්චන්ද්‍ර




 

Post a Comment

0 Comments