වෛද්‍ය රසායනාගාර ගාස්තු මාෆියාව සම්බන්ධව සියලු නියාමන ආයතන නිහඩයි…

 

මෙරට රෝගීන් හට විවිධ අවස්ථාවල සිදු කිරීමට සිදුවන නොයෙකුත් වෛද්‍ය පරීක්ෂණ බහුතරයක් සිදු කරගනු ලබන්නේ පෞද්ගලික සේවා සපයන රෝහල් හෝ රසායනාගාර මගිනි. පෞද්ගලික රසායනාගාරයකින් සේවය ලබා නොගත් පුරවැසියෙකු මෙරට නොමැති තරම් ය. මෙලෙස සිදු කරනු ලබන සීනි පරීක්ෂණ, මුත්‍රා පරීක්ෂණ, ECG යනාදී නොයෙකුත් පරීක්ෂණ සඳහා විවිධ මධ්‍යස්ථාන වලින් විවිධ මිල ගණන් අය කිරීම දැකිය හැකිය. සමහර අවස්ථාවල එක් එක් මධ්‍යස්ථාන වල මිල වෙනස සීයට සීයක් වන අවස්ථා ද දැකිය හැකිය. කණගාටුදායක තත්වය නම් කිසිදු වගකිව යුතු නියාමන ආයතනයක් මේ පිළිබඳ සොයා බැලීමක් හෝ සිදු නොකිරීමයි.

මීට මාස කීපයකට ඉහත ඩෙංගු පරීක්ෂණය සඳහා වැඩිපුර මුදල් අය කළ කොළඹ පුද්ගලික රෝහල් සහ රසායනාගාර මධ්‍යස්ථාන ගණනාවකට පාරිභෝගික අධිකාරිය විසින් සිදුකළ නඩු පැවරීම් වලදී රුපියල් ලක්ෂ සියය ඉක්මවා දඩ මුදල් නියම වූ බව වාර්තා විය. එහිදී එහි ප්‍රකාශකයෙකු පුවත්පතකට ප්‍රකාශ කොට තිබුණේ පාරිභෝගික සේවා අධිකාරිය මගින් covid පරීක්ෂණ, ඩෙංගු පරීක්ෂණය සහ FBC සඳහා පමණක් පාලන මිලක් නියම කොට ඇති බවත් අනෙකුත් බහුලව භාවිතා වන රසායනාගාර පරීක්ෂණ ගාස්තු සම්බන්ධව පාරිභෝගික අධිකාරියට මැදිහත් විය නොහැකි බවත් ඒ සඳහා යම් යෝජනා ඉදිරිපත් කර ඇති බවත් ය. පුද්ගලික සෞඛ්‍ය සේවා නියාමන කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු මෙම පුවත්පතට ප්‍රකාශ කොට තිබුණේ සියලු පාර්ශවයන්ගේ එකඟතාවෙන් බහුලව භාවිතා වන පරීක්ෂණ සඳහා පාලන මිලක් පැනවීමෙන් රෝගීන්ට සිදුවන අසාධාරණය වැලැක්විය හැකි බවයි.

මේ අනුව පසුගිය කාලය තුළ පාරිභෝගික සේවා අධිකාරිය මගින් බහුලව භාවිතා කරනු ලබන පරීක්ෂණ කීපයක් සඳහා පාලන මිලක් පැනවීමට යෝජනා කර තිබුණද පුද්ගලික සෞඛ්‍ය සේවා නියාමන කොමිසම මේ සඳහා මැලිකමක් දක්වන බව වාර්තා වේ. ඒ පුද්ගලික රෝහල් උපයන අධික ලාභය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පුද්ගලික සෞඛ්‍ය සේවා නියාමන කොමිසම සහය දක්වන නිසා බවද තොරතුරක් වාර්තා විය.

කෙසේ වෙතත් රුපියල් 10, 20 වැනි මිල ගණන් වැඩිපුර අය කිරීම වැළැක්වීම සඳහා ගැසට් නිවේදන නිකුත් කරන වකවානුවක, දහස් ගණනින් අනිසි ගාස්තු අය කරන පුද්ගලික රෝහල් සහ රසායනාගාර සම්බන්ධව සියලු ආයතන සහ පාරිභෝගික සංවිධාන නිහඩව සිටීම කනගාටුදායක තත්ත්වයකි.

Post a Comment

0 Comments