විද්‍යාපීඨ ගුරුවරුන්ට නීතියක්?

 

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පුහුණුව අවසන් කළ ඇතැම් ගුරුවරුන් අමාත්‍යාංශය සමග පවතින ගිවිසුමෙන් ඉවත් වීමට කර තිබෙන ඉල්ලීම් කිසිසේත් අනුමත නොකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


මෙම තීරණය ගෙන ඇත්තේ එවැනි අනුමත කිරීම් වැරදි පූර්වාදර්ශයන් වන හෙයින් යැයි ද එලෙස අවස්ථාව දුනහොත් පුහුණු ගුරුවරුන් විශාල වශයෙන් පද්ධතියෙන් ඉවත් වීම නොවැළැක්විය හැකි වනු ඇති බවද අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් ‘අරුණ’ට ඊයේ (31) පැවසීය.


දැනට පවතින නීතිය අනුව පුහුණු ගුරුවරුන් රජයේ පාසල්වල සේවය කළ යුතු බවට වන ගිවිසුමෙන් ඉවත් වන්නේ නම් අමාත්‍යාංශයට ගෙවිය යුතු වන්නේ රුපියල් තිස්පන් දහසක මුදලක් පමණි. මෙම මුදල අනුමත කර ඇත්තේ 1985 විද්‍යාපීඨ පිහිටවූ දා පටන් එනම් වසර තිස් තුනකට පෙරය. වර්තමානය වන විට එය ඉතාමත් අඩු මුදලක් වන හෙයින් පුහුණු ගුරුවරුවන් විදෙස් ගත වීම හෝ පෞද්ගලික පාසල්වලට සම්බන්ධ වීම වැනි පෞද්ගලික අවශ්‍යතා සඳහා ගිවිසුමෙන් ඉවත් වීමට යොමු වීමේ ප්‍රවණතාවක් ඇති වී තිබේ.


එම මුදල රුපියල් හත් ලක්ෂයක් දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශය සාකච්ඡා වාර කිහිපයක් පැවැත්වූ නමුත් ඒ සඳහා නිශ්චිත තීරණයක් ගෙන නැතැයි ද ඒ පිළිබඳ ඉක්මන් තීරණයක් ගැනීමේ අවශ්‍යතාව අනිවාර්ය බව ද ඉහත කරුණු දැක්වූ නිලධාරියා කීවේය. එමෙන්ම ගිවිසුමෙන් ඉවත් වීම සඳහා දැනට පවතින අඩු මුදල දඩමීමා කරගැනීමට ගුරුවරුන්ට කිසිසේත් ඉඩ නොදිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

Post a Comment

0 Comments