සමඟි ජන බලවේග ආණ්ඩුවකින් ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් ඇතිකර එයින් රටේ වංචාව සහ දූෂණය තුරන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.
“සමඟි ජන බලවේගය විද්වත් කමිටු සමඟ රටේ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරනවා. එම වැඩපිළිවෙළ ආණ්ඩු මාරු වූ ගමන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනවා. ආර්ථික වැඩපිළිවෙළ ගැන සමඟි ජන බලවේගයට සියයට සීයක අවබෝධයක් තිබෙනවා.
සජිත් ප්‍රේමදාස මහතා සමඟි ජන බලවේගයේ නායකයා ලෙස පත් කරගෙන එක්සත් ජාතික පක්ෂය අත්හැර පැමිණියේ සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කිරීමටයි. ඒ වැඩපිළිවෙළට සමඟි ජනබලවේගයේ සියලු දෙනා කැප වී වැඩ කරනවා.
ආර්ථික අර්බුදය හේතුවෙන් රටෙන් සියයට 60ක් අධික දුෂ්කරතාවකට පත්වී සිටින බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදු කළ සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. රටෙන් සියයට 90ක් ජීවත් වීමට නොයෙකුත් ක්‍රමවේද භාවිත කරන බවත් එම සමීක්ෂණයෙන් හෙළි වී තිබෙනවා. වැට් බදු වැඩි කිරීම හරහා ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයෙන් වැඩියෙන්ම පීඩාවට පත් වී ඇත්තේ අහිංසක දරුවන්. දරුවන්ගේ පෝෂණය සඳහා දෙන ආහාර සඳහා වැට් බද්ද අය නොකරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියත් ඊට හොඳ ප්‍රතිචාරයක් ලැබුණේ නෑ. ආණ්ඩුව කියනවා අවුරුදු 20කට පසුව භාණ්ඩාගාරයේ සියලුම බිල්පත් ගෙවන්න හැකි වුණා කියලා. ඒක හොඳ දෙයක්. ඒ බිල්පත් ගෙවීමට ජනතාවට අධික ලෙස බදු පැටවීම හරහා ජනතාවට ජීවත් වීමට නොහැකි වෙනවා.
ආණ්ඩුව බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා බදු එකතු වෙලා තිබෙනවා. බිලියන 3100ක් පමණ බදු එකතු වෙලා තිබෙනවා. දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 11.2ක් බදු ලෙස එකතු කරගෙන තිබෙන බව වාර්තා වෙනවා. මේ අගය සියයට 13කට ගෙන ඒමට රජය උත්සාහ කරන බව වාර්තා වෙනවා. සියයට 8කට වඩා අඩුවෙන් තිබූ දළ දේශීය නිෂ්පාදනය සියයට 11.2ක් දක්වා ගෙන යනවා කියන්නේ ආර්ථික විද්‍යාව පැත්තෙන් ගත්තොත් සතුටු වෙන්න පුළුවන් කාරණයක්. නමුත් ඒ වෙනුවෙන් ජනතාව විඳින දුක දිහා බැලුවාම සතුටු වෙන්න පුළුවන්කමක් නෑ.
කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පරාටේ නීතිය සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. ඔවුන් ගත් ණය රටේ ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් ඔවුන්ට ගෙවා ගැනීමට නොහැකි වෙලා තිබෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් උකස් කළ ඔවුන්ගේ දේපොළ බැංකු මඟින් වෙන්දේසි කර විකුණා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට දුන් ණය ප්‍රමාණය පුළුවන් තරම් ගැනීමට බැංකු කටයුතු කරනවා.”
0 Comments