හතුරුසිංහගෙන් සැර කතාවක්..


බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) ක්‍රිකට් තරගාවලිය හරහා බංග්ලාදේශය තුළ 20යි 20 ක්‍රිකට්වල දියුණුවක් සිදු වී නැති බව බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සඳහන් කර තිබේ.

එසේම ඒ බව තමන් දැඩි විවේචනයක් ද සහිත ව ප්‍රකාශ කරන බව චන්දික හතුරුසිංහ අවධාරණය කරයි.

ප්‍රකට ක්‍රිකට් වෙබ් අඩවියක් වන 'ක්‍රික්ඉන්ෆෝ'හි මේ බව දක්වා ඇත.

BPL තරගාවලිය තුළ ප්‍රධාන පිතිකරණ සහ පන්දු යැවීමේ භූමිකාවන්හි බංග්ලාදේශ නියෝජනය අතිශය දුර්වල බව ඔහු සඳහන් කර තිබේ.

බොහෝ කණ්ඩායම්, තරගවල ප්‍රධාන භූමිකාවන් සඳහා විදේශීය ක්‍රීඩකයන් මත විශ්වාසය තබා ඇති බව චන්දික හතුරුසිංහ අවධාරණය කර තිබේ.

''මේක මට අමුතු දෙයක්. BPL බලන සමහර වෙලාවට මම රූපවාහිනිය ක්‍රියා විරහිත කරනවා. මට දැනට තියෙන ක්‍රමය ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේකට ICC එක මැදිහත් වෙන්න ඕනේ' යනුවෙන් ඔහු පවසා ඇත.

බංග්ලාදේශ ක්‍රීඩකයන් මුල් තිදෙනා අතර පිතිකරණයේ යෙදිය යුතු බවත් බංග්ලාදේශ පන්දු යවන්නන් ද තරගයේ ප්‍රමුඛ කාර්‍යයක් ඉටු කළ යුතු බවත් චන්දික හතුරුසිංහ අවධාරණය කර තිබේ.

මෙවර BPL තරගාවලියේ Chattogram Challengers, Sylhet Strikers සහ Durdanto Dhaka යන කණ්ඩායම් තුනම සිය පිතිකරණ ලැයිස්තුවේ පළමු තිදෙනා සඳහා යොදාගෙන තිබුණේ විදේශීය ක්‍රීඩකයන් ය.

මෙම ක්‍රියාවලිය හරහා බංග්ලාදේශ 20යි 20 ක්‍රිකට් කණ්ඩායම ලෝකයේ සෙසු ක්‍රිකට් කණ්ඩායම් සමඟ නැඟී සිටීම පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බව චන්දික හතුරුසිංහ අවසාන වශයෙන් සඳහන් කරයි.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර තරග 03කින් සමන්විත 20යි 20 ක්‍රිකට් තරගාවලිය එළැඹෙන මාර්තු 04 වැනි දා ආරම්භ වීමට නියමිත ය.

එම තරගාවලිය ආරම්භ වීමට ආසන්න මොහොතක දී බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මෙසේ සඳහන් කර තිබීම විශේෂත්වයකි.

තවත් පුවත් : 


Post a Comment

0 Comments