1971කේ අරගලය (1971.04.05) සිදුවී වසර 53 ක් ගත වී ඇත. මේ ඒ පිලිබඳව තබන සටහනකි...
ඇතැම් අය මෙය දකින්නේ තනි මිනිසෙකු සිය පෞද්ගලික මානසික ආතතියක් පිට කල සන්නද්ධ අරගලයක් හැටියටය. රෝහණ විජේවීර සහෝදරයා රුසියාවේ ශිෂ්‍යත්වයක් ලබා එරට සිට නිවාඩුවකට මෙරටට පැමිණි අවස්ථාවක නැවත රුසියාවට යෑමට අවසර නොදීම නිසා ධනපති සමාජය සමගත්, ඒ වනවිට වමේ සිටි නායකයන් සමගත් ඇතිවූ වෛරය ඔහු බලය ලබාගැනීමේ මෙහෙයුමකට හරවා ගත් බවයි. මෙය ආරම්භක හේතුවක් වුවත් මින් එහා ගිය මූල බීජයක් 71 කේ කැරැල්ලට හේතුවූ බව මාගේ විශ්වාසයයි.
1948 දී අපට නාමික නිදහසක් ලැබුනි. අප රට පුරා දශක 4කට වැඩි කාලයක් අධිරාජ්‍යවාදී රටවල පාලනයට නතු වී තිබුනි. මේ වකවානුව තුල සුද්දන්ට කත් ඇඳ, තානාත්තර, ඉඩ කඩම්, නම්බු නාම ලබාගත් සිංහල සුද්දන් විසින් 48න් පසුව මෙරටේ උසස් රදල පැලැන්තිය ලෙස ඉස්මතු විය. රාජ්‍ය බලය අත්වූයේ මොවුන්ටය. ධනය සතු වූයේ මොවුන්ටය. උසස් අධ්‍යාපන අවස්ථා, ඉහල රැකියා අවස්ථා හිමිවූයේද මොවුන්ටය. නිදහස් අධ්‍යාපනයට පින් සිදුවන්න සාමාන්‍ය පවුල් වල ළමුන් ඉගෙන ගත්තත් ඔවුන්ට ගැලපෙන රැකියා ලැබුනේ නැත. මේ නිසා 60ටේ දශකය වනවිට ධනපති පැලැන්ති සමග උරණව සිටින රැකියා නොමැති, උගත් තරුණ පිරිසක් බිහි විය. ඔවුන් ඒවන විට පැවති වමාංශික පක්ෂ සමග සම්බන්ධ විය. එහිදී ඔවුන් 19 වන ශත වර්ෂයේ රුසියාවේ, චීනයේ, කියුබාවේ, ඇල්බේනියාවේ විප්ලවීය ප්‍රවේශය හරහා ඒකාධිපති ධනපති පාලනයන් සාර්ථව බිඳහෙලූ ආකාරය ඉගෙන ගත්තේය. මෙලෙස සමීප විප්ලව ගැන දැනුවත්, අධිරාජ්‍යවාදී ගැති, ධනපති පාලකයන්ට විරුද්ධ සමාජ පරිනතභාවයක් සහිත තරුණ පෙලක් 60ටේ දශකය වනවිට බිහිවී තිබුනි.. විජේවීර කලේ මේ තරුණයන් රාජ්‍ය බලය ලබාගැනිමේ මෙහෙයුමකට සම්බන්ධ කරගෙන ඊට නායකත්වය ලබාදීමයි.
මේ විප්ලවය අසාර්ථක වීමට බලපෑ හේතු ගණනාවකි.
- මේ සටන නිර්ධන පංතිය වෙනුවෙන් කරන සටනක් බව සිවිල් සමාජය දැනුවත් නොකිරීම. මේ නිසා 71කේ කැරැල්ලට වැඩියෙන්ම විරුද්ධ වුනේත් ඉන් වැඩිපුරම බැට කැවේත් නිර්ධන පංතිය වීමය.
- අධිවාමවාදී අදහස් ඇතිව මූලධර්මවාදීව කටයුතු කිරීම. මොවුන් සිතුවේ සීමිත ආයුධ ප්‍රමාණයක් සහිතව සටන ඇරඹූ විගස ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ සහෝදරවරු ආයුධ රැගෙන ඔවුන්ගේ සටනට එක්වෙයි කියාය. එහෙත් වුනේ මේ සියලු දෙනා ඔවුන් මර්ධනට රජයට සහය වීමයි.
- අභ්‍යන්තර ගැටුම්. ධර්මසේකරගේ වෙන්වීයෑම, සනත්, සිසිල්චන්ද්‍ර, මාදුවගේ ඇතුලු ගාලු ද්‍රිස්ත්‍රික් නායකයන් සමග ගැටුම, ලොකු අතුල සමග විරසක වීම, කෑගලු කණ්ඩායම වෙන්වීම ආදිය දැක්විය හැක.
- ජාතිවාදී අදහස්. 71කේ කැරැල්ලට කිසිදු දෙමල හෝ මුස්ලිම් සහෝදරයෙක් සම්බන්ධ කරගත්තේ නැත. විජේවීර ප්‍රසිද්ධියේම වතු දෙමල ජනයා කම්කරුවන් ලෙස සැලකුය යුතු නැති බව පැවසුවේය. මේ නිසා මෙය අසහනයට පත් සිංහල තරුණයන්ගේ සටනක් ලෙස ලේබල් විය.
- ධනපති ක්‍රමයට විරුද්ධ සෙසු වමේ කණ්ඩායම් සටනට එකතු කරගැනීම වෙනුවට විජේවීර විසින් එන් එම්, කොල්වින්, කෙනමන්, වික්‍රමසිංහ ඇතුලු වමේ නායකයන් පිරිසව ප්‍රසිද්ධියේම විවේඡනය කලේය. ප්‍රභාකරන්ට වැරදුනේද ඔතනය. ඔහුද අනෙක් දෙමල විමුක්තිවාදී කණ්ඩායම් වන ටෙලෝ, ඊරෝස්, ප්ලොට් වැනි සංවිධාන මර්ධනය කලේය.
- ජයග්‍රාහි සියලු විප්ලව ක්‍රියාත්මක කලේ ඒකාධිපති පාලනයන්ට එරෙහිව වුවත් 71කේ කැරැල්ල ක්‍රියාත්මක් කලේ බහුතර මිනිසුන්ගේ කැමැත්තෙන් පත්වූ ප්‍රජාතන්ත්‍රවාදී රජයකට විරුද්ධව වේ. මෙහිදී නාමික ප්‍රජාතන්ත්‍රවාදයේ හා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනස සමාජගත කිරීමට ඔවුහු අපොහොසත් විය.
- ශක්තිමත් සංවිධානයක් නොමැතිව එක් දිනකින් සන්නද්ධ අරගලයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කිරීමෙන් විප්ලවීය මුහුණුවර වෙනුවට ත්‍රස්තවදී ලේබලයක් වැදීම.
මේ හේතූන් නිසා කැරැල්ල අසාර්ථක විය. පසුව මහනඩුවේදී විජේවීරව මහා විප්ලවවාදියකු කර සෙසු නායකයින් මෝඩයන් කිරීමට බාල තම්බො ගෙතූ බොරුව ඇතැම් අය සැබෑ සිදුවීම ලෙස දකිනවා. එහෙත් ඇත්ත එය නොවේ.
කෙසේ වුවත් මහ නඩුවෙන් මේ තරුණයන් බොහෝ දෙනා සිරගත වෙනවා. සමහරු සටන් බිමේදී මිය යනවා. ඔවුන්ගේ පවුල් වල අයට සමාජයෙන්, මාධ්‍යයෙන් හා රජයෙන් පීඩා එල්ල වෙනවා. වර්තමානයේදී සල්ලි නැතත් වට්නා ඇදුම්, වාහන, දුරකතන මිලදී ගෙන ඒවා තමන්ට තිබෙන බව පෙන්වීමට මුහුණු පොතේ ඡයාරූප දමමින්, පැලැන්තිය පෙන්වීමට බොරු වාසගම හා ඉංග්‍රීසි වචන භාවිතාකරමින්, සෝබනකාරී ජීවීතයක් ගත කරන වත්මන් තාරුණ්‍යට සාපේක්ෂව ගත්කල නිර්ධන පංතිය වෙනුවෙන් සිය ජීවිත පරදුවට තබා, විශාල කැපකිරීම් සහිතව අවංකව සටන් කල 71කේ තරුණ තරුණියන් වීරත්වයෙන් සැලකීමේ වරදක් නැත. ඔවුන් යුගයක් වෙනස් කිරීමට වෙරදැරූ යුග පුරුෂයන් වේ.
- යෙනුක සිසිල්චන්ද්‍ර
තවත් පුවත් :
2 Comments
1971 ලංකාවේ දියුණුවට ලැබුනේ මොනවාද?
ReplyDelete1971 කේ අරගල , ලංකාවේ දියුණුවට ලැබුනේ මොනවාද?
ReplyDelete