ආසියානු කරාතේ තීරකවරියක් වූ පලමු හා එකම ලාංකික තරුව.


ඇතැම් ලාංකීක ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තරය තුල දිනූ ජයග්‍රහණය සමහරක් තවමත් සමාජගත වී නොමැත. එවැනි ජාත්‍යන්තරය තුල සුවිශේෂී ජයග්‍රහණය රැසක් වාර්තා කල, එහෙත් ඒවාට නිසි ඇගයීමක් නොලැබූ, කරාතේ තරුවක් අපට හමු විය.

ඇය නමින් අනූෂා කුමාරි ලියනගේ වේ. 1973 වසරේ සැප්තැම්බර් මස 11 වැනිදා, කළුතර, නාගොඩ ප්‍රදේශයේ තිදරු පවුලක, මද්දුමයා ලෙස අනූෂා මෙලොව එලිය දුටු අතර වෘත්තීම වශයෙන් බර වාහන කාර්මික හා අලුත්වැඩියා නිලධාරීවරයෙක් වූ සෝමදාස ලියනගේ මහතා ඇගේ පියා වූ අතර ගෘහණියක් වූ සෝමා සමරසිංහ මහත්මිය ඇයගේ මව වේ.  1988/89 කලබල සමයේදී,  සිය වැඩිමහල් සොයුරා වූ අශෝක ලියනගේ ජීවිතක්ෂයට පත් වූ අතර නැගණිය වන වරුණි ලියනගේ,  විදුහල්පතිනියක් ලෙස සේවය කරයි. අනූෂා, සිප්සතර ඉගෙනගැනීමට පලමුවෙන්ම කටුකුරුන්ද ධර්මපාල මහා විද්‍යාලයටත්, ඉන් අනතුරුව මතුගම ආනන්ද ශාස්ත්‍රාලයටත්, 8 වන ශ්‍රේණියේ සිට උසස් පෙල දක්වා කළුතර ඥානෝදය මහා විද්‍යාලයටත් ගිය අතර, පාසල් සමය තුලදී ඉගෙනුමට මෙන්ම ක්‍රීඩවටද එකලෙස දක්ෂය.

ඇය කරාතේ ක්‍රීඩාවෙන් ඉහල තලයකට ගොස් ඇතත්, ඇය ක්‍රීඩාවට ප්‍රවේශ වීම අහම්බයක් ලෙස දැක්විය හැක. සාමන්‍ය පෙල සමයේදී, රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ඉංග්‍රීසි භාෂා පංතියට ඇය සහභාගි වී ඇති අතර, එම පංතිය පැවති "සුදර්ශිය" ගොඩනැගිල්ලේ අනෙක් කෙලවරේ කරාතේ පංතියක් පවත්වා ඇත. අනූෂා ඉංග්‍රීසි පංතියට ගොස් අන්තිම පේලියේ වාඩි වී කරාතේ පංතිය ලෙස බලා සිටින විට, රෙජිනෝල්ඩ් කුරේ මහතා ඇයට බැන වදිමින් පවසා ඇත්තේ ඒ පංතියට කැමති නම් ඒකට යන ලෙසය. සර්ගේ බැනවැදීම ආයුධයක් කර ගත් අනූෂා, ඊළඟ සතියේ ගියේ ඉංග්‍රීසි පංතියට නොව, කරාතේ පංතියටය. අනුෂාගේ පලමු කරාතේ ගුරුතුමා වූයේ ශිහාන් (SHIHAN) ලක්ෂ්මන් අගලවත්ත මහතාය. කාරතේ ක්‍රීඩාවේ නිරතවෙමින්, 1992 වර්ෂයේදී  වානිජ අංශයෙන් උසස් පෙල සමත් වී බණ්ඩාරවෙල ඌව අධ්‍යාපන විද්‍යා පීඨයට ඇතුළු වී සෞඛ්‍ය හා ශරීරික අධ්‍යාපන පිලිබඳ ජාතික ශික්ෂණවේදී ඩිප්ලෝමා පාඨමාලාව (1995 - 1998) හදාරා ඇත. 

සිය කරාතේ පුහුණුකරු වන ලක්ෂ්මන් අගලවත්ත මහතා ජපානයට ගිය පසු, 1992 වර්ෂයේදී ශිහාන් ක්ලෙමන් ද සොයිසා මහතා ලඟ  ශිතෝකායි ශෛලය අනුව කරාතේ ක්‍රීඩාව හැදෑරීම සිදුකර, 1994 වර්ෂයේදී කළු පටි පලමු ශ්‍රේණිය ලබාගන්නා ලදී.  1998 වසරේදී, විද්‍යා පීඨ අධ්‍යාපනය අවසන් කර, පලමු ගුරු පත්වීම 1999 වසරේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට හිමිවිය. සිය ඉගැන්වීම, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂයට සීමා නොකර, පලමුව ධර්මාශෝක විදුහලේත්, පසුව අම්බලන්ගොඩ ප්‍රදේශයේ, අනෙක් පාසල් වලත් කරාතේ ක්‍රීඩාව ඉගැන්වීම සඳහා පංති පැවැත් වූ අතර, අම්බලන්ගොඩට කරාතේ ක්‍රීඩාව හඳුන්වාදුන් පුද්ගලයා ලෙස ඇය ඉතිහාසගත වී ඇත.  ධර්මාශෝක විදුහලෙන් ඉවත් වී, 2002 වර්ෂයේදී කළුතර බාලිකා ජාතික පාසලට මාරුවක් ලැබී ගොස්, 2003 වසරේදී සිය පලමු කරාතේ ගුරුතුමා වන ලක්ෂ්මන් අගලවත්ත මහතාගේ මගපෙන්වීම මත, අනූෂා ජපානයට ගොස් ඇත. ජපානයට යෑමට පෙර, ජාත්‍යන්තර මට්ටමේ කරාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහිකල අනූෂා, ක්‍රීඩිකාවක් ලෙසද වාර්තා කිහිපයක් තැබීමට සමත්විය. 1990 වසරේ සිට 2002 වසර වන තෙක් ජාතික කරාතේ ශූරතාවලියේදී මාරුවෙන් මාරුවට, කිලෝ 48ට අඩු බර පංතියේ, කුමිතේ ඉසව්වේ ශූරතාව හෝ අනුශූරතාවය අනුෂා හිමිකරගත් අතර ඇයගේ ප්‍රතිවාදියා වූයේ ශිරෝමි ෆොන්සේකා වේ. 1994 වර්ෂයේදී,  ඉතිහාසයේ පලමු වතාවට ශ්‍රී ලංකා කණ්ඩායමක්, ලෝක කරාතේ ශූරතාවලියට සහභාගි වී ඇති (මැලේසියාවේ පැවැත්වූ ) අතර, එම කණ්ඩායමේ සිටි එකම කාන්තා ක්‍රීඩිකාව වූයේ අනූෂාය.

2003 වසරේදී ජපානයට ගොස් ජපන් භාෂාව ඉගෙනගෙන, සුළු රැකියා කිහිපයකම නිරතවෙමින්, SHIHAN Thoshio Oide පුහුණුකරු යටතේ කරාතේ ක්‍රීඩාවට වැඩිදුර ඉගෙනගත් අනූෂා, 2005 වසරේ සිට මේ වන තෙක් ජපානයේ  වෙල්ඩින් කාර්මික ශිල්පියෙකු ලෙස කටයුතු කරමින් සිටී. ඇතැම් විට වසර 19ක් වෙල්ඩින් වැඩ කරපු, එකම ශ්‍රී ලාංකික කතද අනූෂා විය හැක. ජපානයේදී තම ජීවන සහකරු වන සංජීව ගනේගමව හමුවී,  2009 වසරේදී විවාහ වී ඇති අතර, මේ වන විට වයස 13 ක පුතෙක් ද ඔවුන් දෙපලට සිටින අතර ඔහු නමින් ගනේගම අකිත ලියනගේ වේ. පුතාද අම්මාගේ අඩිපාරේ යමින්, ශිතෝකායි ශෛලය යටතේ කරාතේ ක්‍රීඩාව හදාරමින් සිටියි.

2023 වසරේ නොවැම්බර් මාසයේදී ඇය ජපානයේ කරාතේ දෝ සම්මේලනයේ, කලු පටි 5 වැනි ශ්‍රේණිය ලබාගත්  අතර, කලු පටි 5 වැනි ශ්‍රේණිය දිනාගත් එකම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව අනූෂා වේ. මේ මට්ටමට පැමිණි ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙක් සිටින අතර ඔවුන් වන්නේ ලක්ෂ්මන් අගලවත්ත මහතා හා අනුර කස්තුකාරච්චි මහතා ය. එමෙන්ම ජපානයේ කරාතේ දෝ සම්මේලනයේ මෙවැනි මට්ටමකට පැමිණි, එකම විදේශීය ක්‍රීඩිකාවද අනූෂා වෙයි. ජපානයේ කරාතේ දෝ සම්මේලනයේ තීරක විභාග සියල්ල සමත් වී,  ආසියානු කරාතේ තීරකවරියක් (Referee) වූ පලමු හා එකම ශ්‍රී ලාංකික තීරකවරිය ලෙසද, අනූෂා ඉතිහාසගත විය.

අනූෂා වැනි ජේෂ්ඨ ක්‍රීඩිකාවන් අපේ රටට සම්පතක් වේ. ජපානයේ වසර 21 ක් ජීවත් වෙලත්, එහි පුරවැසිබව ලබාගෙන එහි ජීවත්වීමට වඩා, අනුෂාගේ ඉලක්කය වන්නේ උසස් අධ්‍යාපනය සඳහා පුතාව යොමුකර, හැකි ඉක්මනින් ලංකාවට පැමිණ කරාතේ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සේවය කිරීමයි.

- යෙනුක සිසිල්චන්ද්‍ර

#1. 


#2. 

#3. 

#4. 


#5. 

#6. 

#7. 

#8. 

#9.


#10. 


#11. 


තවත් පුවත් : 

Post a Comment

0 Comments