ජවිපෙ දැන්වත් වෙනස්විය යුතුයි.

 


අනුර කුමාර ජනාධිපති වෙලා දෙවෙනි සතිය තමයි මේ ගෙවෙමින් තියෙන්නේ.මේ කාලය ඇතුලත කැපී පෙනෙන වෙනස්කම් ලොකුවට සිද්ධවෙලා නැතත් අනුරලා කියපුවා සහ දැන් කරන ඒවා අතර ලොකු ගැප් එකක් තියන බව පේනවා.ඒ ක්‍රියාවලියෙන් ජවිපෙට රාජ්‍ය පාලනය සම්බන්ධව තියන අඩු අද්දැකීම සහ නොදැනුවත්කම මොනවට ප්‍රදර්ශනය වෙනවා.ඇත්තටම එයාලා හොරු අල්ලන්න යම් උත්සාහයක් දරනවා නම් ඒකට අකුල් හෙලන්න අපිට නම් ඕනි නෑ.

වාහන දීමේදී අක්‍රමිකතා සිද්ධවෙලා තියනවා නම් ඒවට නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕනි.ඒ ගැන අපේ කිසිම විරෝධයක් නෑ.මොකද කවුරු හරි මේ රටේ මහජන දේපල හොරකම් කරලා තියනවා නම් ඒවා ආපහු ජනසතු කිරීම කවුරු කලත් අපි ඒක අගය කරනවා.හැබැයි හොරු ඇල්ලීමේ මුවාවෙන් තවමත් ඡන්ද project කරනවා නම් ඒක පිලිගන්න බෑ.

ඒ වගේම අනුර රටේ රාජ්‍ය නායකයෙකුට නොගැලපෙන ග්‍රාම්‍ය හැසිරීම් පෙන්වනවා නම් ඒවයින් ජනාධිපතිවරයෙක් විදිහට අනුරට විතරක් නෙවෙයි අපේ රටත් අපකීර්තියට ලක් වෙනවා. උදාහරණයක් විදිහට පහුගිය දවසක මාධ්‍යවල පලවුන පුවත් ඇත්ත නම් අනුර ඒ තැන්වලදී බරපතල පසුගාමීකමක් පෙන්වලා තියනවා.අනුර ජනාධිපති මන්දිරයේ කුස්සියට ගිහින් ඒකේ තියන කෑම වට්ටෝරු ඉරලා විසි කලා කියලා කියනවා.

ජනාධිපති මන්දිරයේ හිටපු කෝකියෝ විස්සක් නැවත වෙනත් ස්ථානවලට මාරු කරලා යැව්වා කියලත් කියනවා.ඊළඟට ඒ මුළුතැන්ගෙයි තිබුණ කෑම වර්ග එයාලට බෙදාගෙන දරුවොත් එක්ක කන්න කියලා දුන්නලු.ජවිපෙ සහෝදරවරු ඒ ගැන post දදා මාර ජොලියක් ගත්තා.ඇත්තටම ජනාධිපති මන්දිරය කියන්නේ අපේ රටේ දේශපාලනයේ එක මූලස්ථානයක්.දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් එන තැන.ඒ වගේම ජනාධිපතිවරයා හම්බ වෙන්න විදෙස් ආයෝජකයන් එන තැන. 

සාමාන්‍යයෙන් ඇමරිකාවට දවල මන්දිරය වගේ,රුසියාවට ක්‍රෙම්ලීනය වගේ අපට තියන තැන ජනාධිපති මන්දිරය.අපේ රටේ ජනාධිපති විදේශ රාජ්‍ය නායකයෙකුට භෝජන සංග්‍රහයක් දෙන තැන එතන.රටට ආයෝජකයන් පිරිසක් ආවොත් ජනාධිපතිවරයා එයාලට සංග්‍රහ කරන තැන එතන. ඇත්තට අපේ රටේ ජනතාවගේ පෞරුෂය,සංග්‍රහ සීලී බව සහ අපේ රටේ ආහාර රටාව ලෝකයට කියන එක තැනක් තමයි ජනාධිපති මන්දිරය කියලා කියන්නේ.

ඒ වගේම ලෝකයෝ බහුලව භාවිතා කරන ආහාර වට්ටෝරුවල තියන කෑම පිලිවෙල කරන කෝකියෝ එතන ඉන්නවා.ඉන්දියන් අගමැති එනවා නම් ඉන්දියන් රටාවට සහ එයාගේ කැමැත්තට අනුව සංග්‍රහ කරන්න පුළුවන් කෑම ටිකක් අපේ ජනාධිපති දෙන්න ඕනි.යුරෝපයේ නායකයෙක් ආවත් එහෙමයි.මැදපෙරදිග නායකයෙක් ආවත්,නැගෙනහිර ආසියාවේ නායකයෙක් ආවත් එහෙමයි.ඒ වෙලාවට කෝකියෝ හොයහොයා යන්න බෑ.

ඒ වෙනුවෙන් සුදානම් උන කෝකියෝ සංචිතයක් එතන ඉන්නවා.අනුරට කරන්න තිබුණේ අනුර වෙනූවෙන් ජනාධිපති මන්දිරයෙන් හදන කෑම වේල සරල කරලා දෙන්න කියන ඉල්ලීම කරන එක විතරයි.එයා කන මැල්ලුමයි, බතුයි,කරවල හොද්දයි හදලා දෙන්න කියලා මුළුතැන් ගෙයි සූපවේදියාට කිව්වා නම් එයා ඒක හදලා දෙයි.ගෙදරින් කෙහෙල් කොලේ ඔතාගෙන ගෙනත් බත් කාපූ ජනාධිපතිවරුන් මේ රටේ හිටියා.

ඊළඟට එතන තියන බඩු කියන්නේ අනුරට කන්න විතරක් ගේන ඒවා නෙවෙයි.ඒවා තනි තීරණයට අන්සතු කරනවා නම් අනුර හිතන්නේ ජනාධිපති මන්දීරය කියන්නේ එයාගේ පෞද්ගලික දේපලක් කියලා වෙන්න ඕනි.මොන ජනාධිපතිවරයා ඔතන හිටියත් රටේ ජාතික උරුමයක් උන ජනාධිපති මන්දිරයේ පෞරුෂය රැක ගන්න එයා දැනගන්න ඕනි.එහෙම නැතිව තමන්ගේ කැමැත්තට වැඩ කරන එක වැරදියි.

දැන් හදිස්සියේ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ආවොත් අර සූපවේදියාට වෙන්නේ ඉස්සෙල්ලාම මල්ලක් අරන් පොලට ගිහින් බඩු ටිකක් අරන් එන්න. ඇත්තටම එහෙම ඒවායින් ලකුණු දාගන්න හදපු ජනාධිපති කෙනෙක් මීට ඉස්සෙල්ලා හිටියේ නෑ.දැන් අනුරලාට තේරෙන්න ඕනි පක්ෂයක් පාලනය කිරීම සහ රටක් පාලනය කිරීම දෙකක් කියලා.රටක් පාලනය කරන්න ඕනි වෘත්තීයමය නිපුනතාවය සහිත මිනිස්සු ඕනි. ඇත්තටම ජවිපෙ නායකයෝ පුටුවේ ඉදගන්න ලෑස්ති වෙලා හිටියා මිසක් ඒ පුටුවේ ඉදන් රාජ්‍ය පාලනය කරන විදිහ දැනගෙන හිටියේ නෑ.

පක්ෂයකට රටක් පාලනය කරන්න පුළුවන් නම් ටිල්වින් සහ ජවිපෙ කාඩර් එක හිටියා නම් ඇති.අද මේ වෙනකොට ටිල්වින්ගේ භූමිකාව බොහෝ දුරට බොඳ වෙමින් යනවා. ඇත්තටම ජවිපෙ අයට වඩා මාලිමාවේ අයට ඒ හැකියාව තියනවා.ඒකට හොඳම උදාහරණය තමයි හරිනි.පහුගිය දවසේ සිද්ධ උන තෙල් මිල සංශෝධනයයෙන් පස්සේ කැබිනට් ප්‍රකාශක විජිත හේරත්ට කියන්න උනේ තෙල් මිල ඔයිට වඩා අඩු කලොත් රජයට ආදායම් අහිමි වෙනවා කියලා.

හැබැයි ඡන්දයට ඉස්සෙල්ලා අනුරලා කිව්වේ අසාධාරණ ලෙස ගහන බද්ධක් නිසා තෙල් මිල වැඩිවෙනවා.එයාලා ආපු ගමන් ඒ බද්ධ අඩු කරලා රුපියල් එකසිය ගණන්වලට තෙල් දෙනවා කියලා. හැබැයි ඒ කතාව බොරු කියලා දැන් විජිතට පිලිගන්න වෙලා. මේ රටේ දේශපාලනඥයෝ පක්ෂ විපක්ෂ කොතැන හිටිත් ජනතාවට ඇත්ත කියන්න ඕනි .

බලය ගන්න අපේ රටේ හැම පාලකයාම ජනතාවට බොරු කිව්වා.බොරු පොරොන්දු දුන්නා. ඒක තමයි අපේ රටේ තිබුණ සිස්ටම් එක.හැබැයි සිස්ටම් චේන්ජ් කරන්න ආපු අයත් ඒක ඒ විදිහටම කරනවා නම් අපිට කියන්න වෙන්නේ උනුත් එකයි, මුනුත් එකයි,තොපිත් එකයි කියලයි.

හරි එහෙනම් ගිහින් එන්නම්.                                                                                                          ජයවේවා.                                                                                                                                      මිට                                                                                                                                                Verite research

තවත් පුවත් : 

Post a Comment

0 Comments