අනුර වියරුවෙන්?


ජනාධිපති අනුර කුමාර ගිය 19 වෙනිදා කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ තිබුණ ජනහමුවක් අමතමින් කරපු කතාව කාගේත් අවධානයට යොමුවුනා. ඇත්තටම අනුරගේ කතාව කතා කරන්න ඕනි මාතෘකාවක්. අනුර ඒ කතාව කළේ වියරුවෙන් වගේ. රටේ රාළ දිගටම කියන්නේ අනුර මරු සිරාට අඳින එක නතර කරලා ලංකාවේ ජනාධිපතිට අඳින්න ඕනි කියලයි. අනුරගේ ඒ කතාව ඇතුලේ සැඟවුන කතා ගොඩක් තියනවා.

ඒ සැඟවුන කතාව රටට පෙන්නලාදීම රටේ රාළගේ වගකීමක්. කටුකුරුන්ද ජන රැලියේ අනුර කළේ ඉතාම බාල,වැඩවසම්,පහත් සහ ගෝත්‍රික කතාවක්. ඒක ජනාධිපති කෙනෙකුට නොගැලපෙන කතාවක්. අනුර දැන හෝ නොදැන මේ කරන්නේ ආයෙත් රාජපක්ෂවාදයට පණදෙන්න හදන එකයි. අනුර හිතනවා නං සීමාව ඉක්මවලා මහින්දට ගෑසීමෙන් අර්බුදයෙන් ගොඩයන්න පුළුවන් කියලා ඒක තරම් මෝඩකමක් තවත් නෑ.

අනුර හිතනවා නං අනුරට දිගටම රාජපක්ෂ විරෝධය උස්සලා හාල් ප්‍රශ්න යට ගහන්න පුළුවන් කියලා ඇත්තටම අනුරට වැරදිලා. මහින්දට තඩිබාන එකෙන් අනුරලා වහලා ගහන්න හදන ගේම් එක ගහන්න පුළුවන් කියලා අනුර හිතෙවා නං අනුරගේ ගමනත් ඉතා කෙටියි. රාජපක්ෂලා මේ රටේ ජනතා දේපල හොරකම් කළා කියන ස්ථාවරයේ රටේ රාළත් දැඩිව ඉන්නවා. හැබැයි ඒක නීතිය ඉදිරියේ ඔප්පු වෙන්න ඕනි.එතකන් රාජපක්ෂලා නීතිය ඉදිරියේ නිර්දෝෂයි.චෝදනා තිබුණ පලියට කිසිකෙනෙක් නිතිය ඉදිරියේ වැරදිකාරයෙක් වෙන්නේ නෑ.

ඒ චෝදනා ඔප්පු කරන්න ඕනි.ඔප්පු කරලා ඒවට දඬුවම් නියම කරන්න ඕනි. ඒක පූළුවන් ආණ්ඩුවට.  හැබැයි ජවිපෙ දිගටම කළේ කෙනෙකුට ගහන්න ඕනි උනාම චෝදනා ටික එලියට ගන්නවා. නැත්තං අභූත චොදනා මවනවා. ඒවා කරලා තමන්ට ගහන්න ඕනි කෙනා සමාජය ඉස්සරහා වැරදිකාරයෙක් කරනවා. ජවිපෙට අනුව ජවිපෙ නොවන සියලු දෙනාම හොරු. හැබැයි අනුන්ගේ ගොඩනැගිල්ලකට හොර ඔප්පුවක් හදලා තව කෙනෙකුට බදු දීලා මුදල් වංචා කලා කියලා චෝදනා තියෙන වසන්ත සමරසිංහලා,මහින්ද ජයසිංහලා උපාසක මහත්තුරු.

මහින්දගෙන් ගත්ත වීඑෆ්එම් එක විකුණගෙන කාපු අනුර කුමාරලා සාන්තුවරු. රෝහණ විජේවීරගේ දරු පවුලට ගෙයක් හදලා දෙන්න පිටරට ඉන්න ජවිපෙ පාක්ෂිකයෝ එවපු මුදල් ටික වංචා කරපු ටිල්වින්ලා,අනුරලා සෝවන් වෙච්චි අය. රටේ රාළ නං කියන්නේ මේ දෙගොල්ලොම හොරු කියලයි. වෙනසකට තියෙන්නේ අරගොල්ලෝ හොරකම් කළේ රාජ්‍ය දේපල.මෙයාලා හොරකම් කළේ පක්ෂයේ දේපල. හැබැයි පක්ෂයේ දේපල කියන්නේ අනුර සහ ටිල්වින් ගෙදරින් ගෙනාපුවා නෙවෙයි.

බයියෝ අරන් දීපුවත් නෙවෙයි.ජවිපෙ සාමාජිකයින්ගේ කැපකිරීම්වල ප්‍රතිපල විදිහට හම්බවුන ඒවා. මහින්ද රාජපක්ෂ වීඑෆ්එම් එක ජවිපෙට දුන්නේ වීමල්ටවත්,අනුරටවත් ආදරේට නෙවෙයි. මහින්දගේ ජයග්‍රහණය වෙනුවෙන් ජවිපෙ කරපු කැපකිරීම වෙනුවෙන්. 2005 දී ජවිපෙ මහින්දව බලයට ගේන්නේ හෙල්පින් හම්බන්තොට චෝදනාව තියෙද්දී. ඒ චෝදනාවෙන් මහින්ද නිදහස් කරපු විදිහ හිටපු අගවිනිසු සරත් එන් ද සිල්වා රට ඉස්සරහා කිව්වා.

ඒක නිසා මහින්දලා කරපු හොරකම් සම්බන්ධව දේශපාලන වගකීමක් ජවිපෙටත් තියනවා. මොකද මහින්ද ජනාධිපති කරලා ඔය ගමන යන්න ලොකුම උදව්ව දුන්නේ ජවිපෙ. ඒ කාලේ මහින්දගෙන් ජවිපෙ ලබපු අයුතු ලාබයනුත් තක්සේරු කරලා හරි නං ඒවත් රාජ්‍ය භාණ්ඩාගාරයට අය කරගන්න ඕනි. රටේ රාළ කියන්නේ වීඑෆ්එම් එකට මොකද උනේ කියලා පුළුවන් නං අනුරට කියන්න කියන්න. අනුරලා සියලු හොරු අල්ලන්න ඕනි.ඒකට වීඑෆ්එම් හොරුත් අයිතියි.අපිත් ඒකට එකඟයි.

අනුර පෙන්නපු ෆයිල් 400 ම ගැන පරීක්ෂණ කරන්න ඕනි.දැන් ෆයිල් කතාව කෝ? ඇයි දැන් ෆයිල් එලියට නෙඑන්නේ. ඒකට හේතුව එතන ඉන්න බදු පැහැර ඇරපු ව්‍යාපාරිකයෝ ජවිපෙට කප්පම් ගෙවන නිසාද? නැත්තං ගිය ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට මාලිමාව වෙනුවෙන්ම කෝටි ගණන් වියදම් කළ නිසාද? අනුර කියන විදිහට මහින්දගේ හිටපු ආරක්ෂකයින් සියල්ල ඉවත් කරලා 60 දෙනෙක් දීලා තියනවා.තවත් කෙඳිරි ගෑවොත් ඒ 60  ත් අයින් කරනවා කියලා අනුර කියනවා. 

අනුර එතනදී කියන්නේ හරිම පහත් සහ වෛරී කතාවක්. ඒවා ජෙප්පෝ සහ බයියෝ හැර ශිෂ්ඨ ලෝකය අනුමත කරන්නේ නෑ. මහින්ද කෙදිරිගානවා නං මහින්ද මරලා දාන්න ඉඩ දෙනවා කියලා නෙවෙයිද මේ කියන්නේ. අනුරට කොහෙන්ද එහෙම අයිතියක්. කවුද අනුරට එහෙම අයිතියක් දීලා තියෙන්නේ. ව්‍යවස්ථාවේ කොතැනක එහෙම තියෙන්නේ. තවත් තැනකදී අනුර කියනවා " හිටපු ජනාධිපති මහින්දගේ නිවස තක්සේරු කලහම මාසික කුළිය ලක්ෂ 46 යිලු.

පනත අනුව ජනාධිපතිවරයාට නිවසක් හෝ වැටුපින් 1/3ක් හිමි. අපි ගේ ගන්නවා පඩියෙන් 1/3ක් ගෙවනවා. ඒ කියන්නේ 30 000ක්.එහෙම නැත්නම් ඉතිරි සල්ලි ටික දීලා කුළියට ඉන්න පුළුවන්. නැත්නම් එළියට " අනුරගේ තියන වෛරී මනස නිසා ඇත්ත තේරෙන්නේ නෑ. එතන තියෙන්නේ නිවසක් හෝ පඩියෙන් තුනෙන් එකක් කියලා. නිවසක් තියනවා නං නිවසක් දෙන්න ඕනි. ඒක ඉතින් හිටපු ජනාධිපති කෙනෙකුට සුදුසු එකක් වෙන්න ඕනි.ඒක රටේ නීතිය.

ඇත්තටම අනුරගේ මේ හැසිරීමෙන් හිතෙන්නේ මේ ලංකාවේ ජනාධිපතිද නැත්තම් ලංකාවේ නූතන වීරප්පන්ද කියලයි. අනුරට තියෙන්නේ වේදිකා උඩ බයිලා ගහන්නේ නැතිව නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න. ඒක ඒ අංශයට බාර දෙන්න.හැබැයි අනුර එහෙම නොකර මේ විදිහට වේදිකා උඩ ග්‍රාම්‍ය ජෙප්පෝ සහ බයියෝ ඉස්සරහා බෙරිහන් දීමෙන් වෙන්නේ නීති ක්‍රියාත්මක කරනවා එහා ගිය පලිගැනීමක් මෙතන තියෙන බව තහවුරු වීමයි. ඒකෙන් එක තැනකදී මහින්දට අනුකම්පාව එන්නත් ඉඩ තියනවා.

ඒකයි රටේ රාළ කියන්නේ අනුර දැන හෝ නොදැන රාජපක්ෂ පාලනයට ආයෙත් පාර කපනවා කියලා. මෙතනදී අනුරගේ උපක්‍රමය ඉතාම පැහැදිලියි. අනුර බයියන්ට සහ ජෙප්පන්ට ආතල් දෙන ගමන් මේ රටේ ජනතාවගේ ඇස්වලට වැලි ගහන්න හදනවා. අනුරගේ ඉන්දීය සංචාරයෙන් පස්සේ අනුරගේ පැත්තෙන්වත් විජිතගේ පැත්තෙන්වත් කිසිදෙයක් එලියට ආවේ නෑ. විජිත රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සිද්ධවුනා කිව්වට මොනවද කරපු සාකච්ඡා කියලා වැඩි විස්තර කිව්වේ නෑ.

කටුකුරුන්දේ අනුර කියපු කතාවෙන් එකක් පැහැදිලිය.අනුරලා ඉන්දියාවේදී ගොඩක් එකඟතාවලට ඇවිත් තියනවා. අනුර දැන් එක එක එළියට දානවා. අනුර කිව්වා ත්‍රිකුණාමලය තෙල් ටැංකිවලින් අපට 24 යි.IOC එකට 9 ක් හෝ 10 යි. ඉතිරි ටික ඉන්දියාව සහ ලංකාව අතර ඒකාබද්ධ ව්‍යාපෘතියකට කියලා. ඒක ඉන්දියාවේදී හැදුන එකඟතාවයක්ද? තව මොන මොන එකඟතාවයන්ට ආවද කියන සැකය මෙතනදී මතුවෙනවා. ඊළඟට ඒ මොන ටැංකිද ඉන්දියාවට දෙන්නේ. වරාය භූමිය ඇතුලේ තියන ඒවද කියලා හරියට කියන්නේ නෑ.කෝ එකඟතා ගිවිසුම.ඒක රටට පෙන්නන්න.

අනුර මේ කියන්නේ " 2022 දී බලශක්ති ඇමති විදිහ උදය ගම්මන්පිල අත්සන් කරපු ගිවිසුම ගැනයි. ඒ ගිවිසුම යටතේ දැනට තෙල් ටැංකි ගණනාවක ප්‍රතිසංස්කරණ වැඩ සිද්ධ වෙනවා. එදා ඒ ගිවිසුමට විරුද්ධයි ජවිපෙ හිටියේ. ජවිපෙ කිව්වේ ත්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දියාවට විකුණනවා ඒක ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලයි. හැබැයි දැන් ඡවිපෙ ඒ ව්‍යාපෘතියේ අයිතිය අරගෙන.

දැන් ජවිපෙට ඕනි ජවිපෙ හිටපු ස්ථාවරය මරලා ජනතාවට හොරෙන් වලලලා දාන්න. මේ පාර ඒකට ජවිපෙ උඩට ගන්නේ මහින්ද විරෝධය. අනුරලා එක්තරා කාලයකදී මහින්දව යාලු කරගෙන වීඑෆ්එම් එක අරගෙන ඒක විකුණාගෙන කෑවා. අද ඒ මහින්දම තරහා කරගෙන මහින්දට තඩි බබා ජවිපෙ ඉස්සර කිව්ව විදිහට එයාලා දැන් රට විකුණාගෙන කනවා.හැබැයි ඒකට දැන් එයාලා කියන්නේ ආයෝජන ගේනවා කියලා.


හරි එහෙනම් ගිහින් එන්නම්. 

ජයවේවා.                                                                                                                                      මිට රටේ රාළ.

Post a Comment

0 Comments