ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ගාල්ලේ දී අද (29) ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් නියමිත වේලාවට පෙර නතරකිරීමට සිදුවිය.
අද දිනය සඳහා තරගය නතර කරන විට ප්‍රබල තත්ත්වයක පසු වූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 330ක් රැස්කරගෙන සිටියේය.
කඩුල්ලේ රැඳී සිටින උස්මාන් කවජා ලකුණු 147ක් හා නායක ස්ටීවන් ස්මිත් ලකුණු 104ක් රැස්කරගෙන සිටියි.
තෙවන කඩුල්ල සඳහා ඔවුන් දෙදෙනා විසින් ලකුණු 195ක සබඳතාවක් ගොඩනගාගෙන සිටියි.
උස්මාන් කවාජා සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 16 වැනි ශතකය රැස්කරගැනීමට අද සමත් වුණා.
එමෙන්ම අද තරගයේදී ස්ටීවන් ස්මිත් රැස්කළ ශතකය ඔහු ආසියානු තණතීරුවක නායකයෙකු ලෙස රැස්කළ 5වන ශතකය ලෙසින් වාර්තා අතරට එක්විය.
ඒ අනුව ඔහු සංචාරක කණ්ඩායම නායකයෙකු ලෙස ආසියානු තණතීරුවක වැඩිම ශතක රැස්කළ පිතිකරුවන් අතර දෙවන ස්ථානය දක්වා අද ඉහළට පැමිණියේය.
ස්මිත් අභිබවා ගියේ බ.ඉ. කොදෙව් හිටපු නායක ක්ලයිව් ලොයිඩ් ශතක 4ක් රැස්කර පිහිටුවා තිබූ වාර්තාවයි.
ආසියාවේදී වැඩිම ශතක රැස්කළ සංචාරක නායක වන්නේ එංගලන්ත හිටපු නායක ඇලෙස්ටියාර් කුක්ය.
ඔහු ශතක 6කට හිමිකම් කියයි.
0 Comments