කායවර්ධනයෙන් ජාත්‍යන්තරය දිනූ හෂිනිගෙන් තවත් විජයග්‍රහණයක්

2025 වසරේ මාර්තු මස 30 වැනිදා, තායිලන්තයේ බැංකොක් නුවර පැවති, NABBA (National Amateur Body Builders' Association) Asia 1st League තරඟාවලියට සහභාගි වෙමින් මෙරට නියෝජය කල හෂිනි හේවගේ හා දමිත් පුෂ්පකුමාර විසින් ජයග්‍රහණය වාර්තා කරමින්, ලක්මව ජාත්‍යන්තරයේ රන් පැහැයෙන් බැබැලීමට සමත්විය. මෙලෙස යකඩ සමග නිතර ඔට්ටුවෙමින් ජාත්‍යන්තර විජයග්‍රහණ වාර්තා කරන හෂිනි හේවගේ ක්‍රීඩිකාවගේ පැටිකිරිය විමසා බලමු.

1997 වර්ෂයේ මැයි මස 15 වෙනිදා, මොරටුව ප්‍රදේශයේ තෙදරු පවුලක, වැඩිමලා ලෙස හෂිනි මෙලොව එලිය දුටුවාය. ඇයගේ පියා වන පද්මසිරි හේවගේ ගොඩනැගිලි ඉදිකිරීම් අංශයේ සේවය කරන අතර ඇයගේ මව වන ස්වර්ණා කාන්ති ගෘහණියකි. ඇයගේ බාල සොයුරියන් දෙදෙනා නම් වලින් දිලිනි ශෂිකලා හා තීර්ෂා ශෙලෝමි වේ.

හෂිනි කුඩා කල සිටම අධ්‍යාපනයට වැඩි දක්ෂතා දැක්වූ ශිෂ්‍යාවක් විය. ඇය සාමාන්‍ය පෙල දක්වා සිප් සතර හදාරන ලැබුවේ දෙහිවල ප්‍රෙස්බයිටේරියන් කාන්තා ජාතික පාසලේ වන අතර සාමාන්‍ය පෙල A සාමාර්ථ 6 ක් හා B සාමාර්ථ 3 ක් සහිතව විශිෂ්ට ලෙස සමත් විය. පසුව ඇය උසස් පෙල, වානිජ අංශයෙන් හැදෑරීමට මිලාගිරිය ශාන්ත පාවුල් කාන්තා විද්‍යාලයට ඇතුලත් වී, ප්‍රධාන විෂයන් A සාමාර්ථ 2ක් හා C සාමාර්ථ 1ක් සමගින් හා ඉංග්‍රීසි භාෂාව සඳහාද B සාමාර්ථයක් සහිතව සමත් විය. එහෙත් උසස් පෙල ප්‍රථිඵල හරහා විශ්ව විද්‍යාල ප්‍රවේශය නූලෙන් ඇයට අහිමි විය.

 විශ්ව විද්‍යාව වරම් දිනාගැනීමට, නැවත වරක් ගෙදරට බරක් වෙමින් උසස් පෙලට සූදානම් නොවී රැකියාවක් කිරීමට හෂිනි තීරණය කලා. ඒ අනුව KPMG ආයතනයට බැඳී, විගණන අංශයෙන් අවුරුදු 1 1/2ක් සේවය කර, පසුව ඉන් ඉවත් වී HSBC බැංකුවේ ගිණුම් අංශයේ අවුරුදු 2 1/2ක් සේවය කල අතර, තමා ඉපයූ ආදයමෙන්, වරලත් කළමනාකරණය ගණකාධිකාරණ ආයතනයේ (CIMA) අදියර 2 ක් අවසන් කල අතර, සිය පවුලටද සවියක් උනා. හෂිනි, ගණකාධිකාරණ  රැකියාවක් සඳහා ඩුබායි රටට ගියේ 2021 වර්ෂයේ, මාර්තු මාසයේය. 

හෂිනි HSBC බැංකුවේ සේවය කරන අතරතුර, 2018 වර්ෂයේ සිටම GYM යන්න පටන්ගෙන ඇත්තේ සිරුරේ හැඩය පවත්වාගෙන යෑමට උවත්, එම  GYM එකේදී ජාතික හා ජාත්‍යන්තර කායවර්ධන ජයග්‍රහණ රැසක් ලබාගත් පිරිසකගේ පුහුණුකරු  වූ හර්ෂ් ද පීරිස් ව හමුවී ඇත. එහිදී හර්ෂ් විසින් හෂිනිට කායවර්ධන ක්‍රීඩාව යෝජනා කල ඇති අතර, මේ වන විට ඩුබායි දේශයේ පුහුණුකරුවකු ලෙස කටයුතු කරන හර්ෂ්ව, හෂිනි විසින් සිය යාවජීව පුහුණුකරු ලෙස තෝරාගෙන ඇත.

ගිණුම්කරණ අංශයෙන්  උසස් අධ්‍යාපනය කරමින්, ඒ අංශයෙන්ම වෘත්තීමය වශයෙන් ඉදිරියට යෑමට සැලැස්මක සිටි හෂිනිගේ ඉදිරි මග වෙනස් වීම ඇරඹුනේ කායවර්ධන ක්‍රීඩාවට යොමු වීමත් සමගය.  ක්‍රීඩාවට යොමු වී වසරක් පමණ ඇතුලත්, ශ්‍රී ලංකා නාමය, රන් අකුරින්, ජාත්‍යන්තරයේ ලිවීමට හෂිනි කටයුතු කලා.  2023 වසරේ පෙබරවාරි මාසයේදී, සිංගප්පූරුවේ පැවති FIF worldwide Classic Pro - 2023 කායවර්ධන තරඟාවලියේ, උස 163cmට වැඩි ඉසව්වෙන් පලමු ස්ථානය දිනාගැනීමට හෂිනි සමත්විය. 2023 වසරේම සැප්තැම්බර් මාසයේදී, කත්මණ්ඩු නුවරදී පැවති,  55 වන ආසියානු කායවර්ධන සහ පිසික් තරඟාවලියේදී, කාන්තා Model Physique අංශයේ 165cm කාණ්ඩයේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට දිනාදීමට හෂිනි සමත්විය.

පසුගිය මාර්තු 30 වැනිදා, තායිලන්තයේ බැංකොක් නුවර පැවති, NABBA (National Amateur Body Builders' Association) විසින් සංවිධානය කරනු ලැබූ Asia 1st League - 2025 තරඟාවලියේ FIF Ms. Bikini Model Novice (open) ඉසව්වේ හා  Ms. Bikini Model Above 160cm ඉසව්වේ පලමු ස්ථාන දිනාගැනීමට හෂිනි සමත්විය. එමෙන්ම Ms. Bikini Model (Open) ඉසව්වේ පස්වැනි ස්ථානයද ඇය හිමිකරගෙන ඇත. 

කායවර්ධන ක්‍රීඩාවට අත්පොත් තබා වසරක් 3ක් ඇතුලත ජාත්‍යන්තර විජයග්‍රහණ රැසක් දිනාගත් හෂිනි, රටට ආඩම්බරයකි. තමාට සහය දුන් පිරිස හා සිය අනාගත බලාපොරොත්තු ගැන හෂිනි විසින් විස්තර කලේ සිය ජය මාවත තෝරගත් බව සහතික කරමින් වේ.

"මේ ජයග්‍රහණය පිටුපස මගේ සෙවනැල්ලටත් ඉදිරියෙන් මගේ පවුලේ අය සිටියා. මාව මේ ක්‍රීඩාවටත්,  මේ තරඟාවලියටත් යොමුකරලා, ගුරු මුෂ්ටියකින් තොරව, මාව පුහුණු කරපු, මගේ පුහුණුකරු හර්ෂ් අයියාට මම ගෞරවාන්විත ස්තුතිය පුදකරනවා. මම ගිණුම්කරණ ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලා, ශරීර යෝග්‍යතා ක්ෂේත්‍රයෙන් වැඩිදුර අධ්‍යාපනයට දැනටමත් යොමු උනා. මගේ සිහිනය කෙසේ හෝ Ms. Universe කිරුල ලක්මවට දිනා දෙන්න. හැබැයි ඒ ගමනේ, මම ඉන්නෙ තාම ආරම්භක අවධියේ. මට එතන්ට යන්න අදියර රැසක් තියෙනවා. ඊට අවශ්‍ය මූල්‍ය ශක්තිය ඇතිකරගෙන,මම අනිවාර්යයෙන්ම අවසන් සිහිනය සැබෑ කරගන්නවා"

ලිංගික අල්ලස්, මුදල් අල්ලස්, හැඳුනුම්කම් හරහා ජයග්‍රහණය ලබාගැනීමට අද සමාජයේ බහුලව දැකිය හැකි  ප්‍රවනතාවය, හෂිනි විසින් ප්‍රායෝගිකව වෙනස් කරමින්, දක්ෂතාවයෙන් ලබාගත් මේ ජයග්‍රහණ, සුලුවෙන් තැකිය නොහැක. කලක් ගත වී හෝ, සිය යන  මග වෙනස් කර, ජය මග තෝරා ගත් හෂිනි වැනි ක්‍රීඩිකාවකට සිය සිහිනය සැබෑ කරගැනීමට සහයෝගය ලබාදීම ක්‍රීඩා බලධාරීන්ගේ මෙන්ම හැකියාවක් ඇති සැමගේ වගකීමකි. 

- යෙනුක සිසිල්චන්ද්‍ර









Post a Comment

0 Comments