කොටු කැපුවොත් වැඩ වරදී! ලොතරැයි මණ්ඩලයෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්!


ජාතික ලොතරැයි මණ්ඩලය විසින් දිනුම් අදින මහජන සම්පත ලොතරැයි දිනුමේ ජයග්‍රාහි අංක අනුමාන කරමින් ‘කොටු කැපීම’ නමැති නීති විරෝධි සූදුවක් ක්‍රියාත්මක කළ දෙදෙනකුට බිබිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 10ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

මාස 2ක සක්‍රිය සිරදඬුවමක් සහ මාස 8ක අත්හිටුවූ සිරදඬුවමක් ලෙස එසේ දඬුවම් නියම වූයේ මැදගම, මීගහවතුර පදිංචි පුද්ගලයෙකුට සහ මැදගම, මියනකඳුර, කොටබෝව පාර, 2 කණුවේ පදිංචි පුද්ගලයෙකුටයි.

මහජන සම්පත ලොතරැයි දිනුමේ ජයග්‍රාහි අංක අනුමාන කරමින්, එහි අංක රටාවේ අවසාන අංක දෙක උපයෝගි කර ගනිමින් විවිධ පුද්ගලයන් විසින් කරගෙන යනු ලබන කොටු කැපීම නමැති සූදූවකට සැලකිය යුතු මහජනතාවක් සම්බන්ධ වී ඇති බවට තොරතුරු ලැබීමත් සමඟ ජාතික ලොතරැයි මණ්ඩලය සිදු කළ පරීක්ෂාවකදී ඊට සම්බන්ධ පුද්ගලයන් සහ ස්ථාන හඳුනාගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති අතර, නීති විරෝධි සූදු පොළවල් පවත්වාගෙන යන්නන්ට එරෙහිව පියවර ගැනීම සඳහා අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැන්වීමට පියවර ගෙන ඇති බැවින් මේ නීති විරෝධි සූදුවට සම්බන්ධ නොවන ලෙස ජාතික ලොතරැයි මණ්ඩලය නිවේදනයක් නිකුත්කරමින් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මණ්ඩලය අලෙවි කරන ටිකට්පත් වලින් ලැබෙන ආදායමින් 20% ක පමණ මුදලක් ලොතරැයී අලෙවි ජාලයේ නියුතු බෙදාහරින්නන්, ලොතරැයි අලෙවි ආදායමින් 50% කට වැඩි ප්‍රමාණයක් තෑගි සඳහා වෙන් වන අතර ඉතිරි මුදලින් රටේ පොදු ජනතාවගේ සුබසිද්ධිය උදෙසා මහා භාණ්ඩාගාරය වෙත මුදල් සපයන බවද ජාතික ලොතරැයි මණ්ඩලය පවසයි.

ඉතිරි මුදලින් දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවට බදු ආදායම ලබා දීම මෙන්ම, මණ්ඩලයේ සේවයේ නියුතු නිලධාරීන්ගේ වැටුප් ඇතුළු අනෙකුත් ගෙවීම් සිදු කරන බවද මෙම නිවේදනයේ සඳහන් ය.

ඒ අනුව ලොතරැයියක් මිලදී ගන්නා ජනතාව රටේ සංවර්ධනයට සහ පුරවැසියන්ගේ ජීවනෝපායට විශාල දායකත්වයක් සපයන අතර ජාතික ලොතරැයි මණ්ඩලය පොදු මහජන අභිලාශය වෙනුවෙන් මෙම සේවාව ඉටු කරන බවද එහි දැක්වෙයි.

මණ්ඩලය පෙන්වා දෙන්නේ, කොටු කැපීමේ සූදුවේ නිරත පුද්ගලයින් එවැනි කිසිදු මහජන සේවාවක් ඉටු නොකරන බවයි.

ඔවුන්ගේ එකම ඉලක්කය නීති විරෝධී ලෙස මහජන මුදල් එකතු කිරීම බැවින්, මෙහි හවුල්කරුවෙකු නොවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද ජාතික ලොතරැයි මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය. 


Post a Comment

0 Comments