ලංගම ලාභ ලබන්න කලින් පාඩු නැවැත්විය යුතුයි..- බිමල්.


ලංගම ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ප්‍රවාහනය මූලික කරගෙන සකස්කළ ව්‍යාපාර සැලැස්මකට (Business Plan) අනුව තෝරාගත් ඩිපෝ විසිපහක් දියුණු කිරීමට කටයුතු කරනු ලබන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.

ඩිපෝ ප්‍රතිසංවිධානයට අදාළ ව රත්නපුර පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සබරගමුව ප්‍රාදේශීය කාර්යාලයේ නිරීක්‍ෂණයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

ලංගම ගොඩනැගීමට රජයක් හැටියට අපි සූදානම් බවත් ඒ සඳහා සියළු තරාතිරම්වල සියළුම සේවක කණ්ඩායම්වල සහයෝගය අවශ්‍ය බවත් පැවසූ ඇමතිවරයා, දැන් තියෙන තත්වයේ හැටියට ලංගම ලාභ ලැබීමට ප්‍රථමයෙන් සිදුවෙන පාඩු නතර කරගත යුතු බවත් පැවසූ ඇමතිවරයා ලංගම සේවකයාට තමන්ගේ රැකියාව පිළිබඳ ගරුත්වයක් ඇති කළ යුතුයැයිද පැවසීය

රජය සතු ආයතන වල ‘සොච්චමක්’ හෝ විකිණීමට කටයුතු නොකරන බව අවධාරණය කළ අමාත්‍යවරයා, මාරාන්තික තත්වයේ ඇති ලංගම යේ වංචාව, දුෂණය පිටුදැක නව හුස්මක් ලබාදෙමින් ගොඩනැගීම සඳහා රජය කැපවන බව ද වැඩිදුරටත් පැවසී ය.

සබරගමුව ප්‍රාදේශීය කාර්යාලයේ කාර්මික අංශය විසින් අලුත්වැඩියා කරන ලද බස් රථයක් දෙණියාය-රත්නපුර (මාර්ග අංක 62) මාර්ගයේ ධාවනය සඳහා එක් කිරීම ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

-මාධ්‍ය අංශය


Post a Comment

0 Comments