වාහන ආනයනය සීමා කිරීමට කිසිඳු තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරනවා.
මෙරට ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීමත් සමග වසර 5කට පසු පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනය කිරීම ඉකුත් පෙබරවාරි පළමුවනදා සිට සිදු කරනු ලැබීය.
එතැන් සිට ජුනි මස අවසානය දක්වා ගත වූ මාස 5 තුළ මෝටර් රථ 18,000කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට ආනයනය කර තිබෙන අතර ඉන් මෝටර් රථ 13,614ක් අදාළ කාලසීමාව තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබේ.
ඒ අනුව ගෙවුණු මාස 5 තුළ වාහන ආනයනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක ණයවර ලිපි විවෘත කර ඇති අතර මේ වනවිට ඉන් ඩොලර් මිලියන 450ක වටිනාකමකින් යුත් වාහන මෙරටට ආනයනය කර අවසන්ය.
මේ අතර වාහන ආනයනය සදහා ඇති මේ උනන්දුව ඩොලර් සංචිත කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකි බැවින් භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව මහබැංකුව වෙත අනතුරු හගවා තිබෙන පළ වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.
එහි උසස් නිලධාරියෙක් සඳහන් කළේ මහා භාණ්ඩාගාරය සහ මහ බැංකුව අතර වාහන ආනයනය සම්බන්ධයෙන් කිසිඳු ලිපි හුවමාරුවක් හෝ සන්නිවේදනයක් සිදුව නොමැති බවය.
එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ වාහන ආනයනය කිරීමේදී මහ බැංකුව සතු විදේශ සංචිතවලට කිසිඳු බලපෑමක් සිදුනොවන අතර වාහන ආනයනය කරනු ලබන්නේ මෙරට වාණිජ බැංකු පද්ධතියේ පවතින ඩොලර් සංචිතවලින් බවයි.


0 Comments