2025.06.30 වන දින රාත්‍රී කාලයේ කහවත්ත පොලිස් වසමේ යායින්න ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් වයස අවුරුදු 22 ක් වන පලන්සූරිගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මියගොස් තවත් වයස අවුරුදු 27 ක් වන යායින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු තුවාල ලැබීමේ සිද්ධියට අදාළව, එම සිද්ධියෙන් මියගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදෙන තරුණයෙකු බවට හුවා දක්වමින් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මඟින් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද මේ දිනවල පුවත් සංසරණය වෙමින් පවති.
මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව කරුණු විමසීමක් කරමින් සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හා කහවත්ත පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරී වෙතින් වාර්තාවක් කැඳවීමට ක්‍රියාකල අතර එම වාතාවට අනුව මෙම වෙඩි තැබීමට අදාළ ප්‍රධාන සැකකරු වශයෙන් හඳුනාගෙන ඇති පුද්ගලයා ප්‍රදේශයේ ව්‍යාපාර කරමින් දැනට වසරක පමණ කාලයක සිට විදේශ ගතව ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින බවත්, මෙම ප්‍රධාන සැකකරුගේ බිරිඳ හා මරණකරු හා ඔහුගේ සහෝදරයා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සැලසුම් කර ඇති බවටත්, අනාවරණය වී ඇති බව වාර්‌තාවේ සඳහන් වේ.
එසේම, මෙම මරණකරු හෝ ඔහුගේ පවුලේ අයවලුන් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදෙන තොරතුරු කරුවන් නොවන බවටද වාර්තා කර ඇත.
එබැවින් මෙම මනුෂ්‍ය ඝාතනයේ මරණකරු පොලිසියට මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන පුද්ගලයෙකු බවට පලවන ප්‍රචාරයන් සම්පූර්ණයෙන් අසත්‍ය වේ.
මෙවැනි පුවත් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නන් විසින් පොලිසිය වෙත අපරාධ හා මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු ලබාදෙන පුද්ගලයින් අධෙර්‍යමත් කිරීම සඳහා කරනු ලබන ක්‍රියාවක්ද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියේ අවධානයට ලක් වී ඇත.
0 Comments