රජය විසින් වාහන ආනයන තහනම ලිහිල් කර තිබෙන අවස්ථාවක, සිය සමාගම විසින් නිසි පරිදි බදු ගෙවා නීත්‍යානුකූල ආකාරයට ආනයනය කළ වාහන දෙකක් රේගුව විසින් මුදා හැරීමකින් තොරව අනීතික ලෙස රඳවා ගැනීම නීති විරෝධී බවට තීන්දු කොට, එම වාහන මුදාහරින ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වාහන ආනයන සමාගමක් විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
එහි වගඋත්තරකරුවන් ලෙස රේගු අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් මහජන බැංකුව, ජනාධිපති හා මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් නීතිපතිවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, ආනයන හා අපනයන පාලක, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් යන අය නම් කර තිබෙනවා.
Honda වර්ගයේ වාහන දෙකක් සිංගප්පූරුව හරහා ආනයනය කිරීමට අදාළව ඉකුත් මාර්තු 19 වැනිදා මහජන බැංකුව මාර්ගයෙන් ණයවර ලිපි විවෘත කළ බවත්, එම වාහන ආනයනය කිරීමට අදාල බදු සහ ගාස්තු වශයෙන් රුපියල් 35,564,668 ක මුදලක් ඉකුත් මැයි 26 වැනිදා ගෙවීමට කටයුතු කළ බවයි පෙත්සම්කරුවන් පවසන්නේ.
සියලු ගෙවීම් හා නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කර තිබියදී ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් විසින් අදාළ වාහන දෙක සහ ඊට අදාල ලේඛන කිසිදු සාධාරණ හේතුවක් රහිතව මුදා හැරීම ප්‍රතික්ෂේප කරන බවත්, මෙහි ප්‍රතිඵලයක් ලෙස රඳවා ගැනීමේ ගාස්තු වශයෙන් තමන්ට රුපියල් ලක්ෂ 23 කට අධික මුදලක් ගෙවීමට සිදුවී ඇති බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකා රේගුවේ මෙම ක්‍රියා කලාපය නිසා කලක් වාහන ආනයනය තහනම් කිරීම හේතුවෙන් පීඩාවට පත් වූ වාහන ආනයනකරුවන් දැඩි අපහසුතාවයට පත්වන බවත්, කිසිඳු සාධාරණ හේතුවක් නොමැතිව අනීතික ලෙස රඳවාගෙන සිටින අදාළ වාහන වාහන මුදා හරින ලෙස ශ්‍රී ලංකා රේගුවට නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාළ පෙත්සමෙන් ඉල්ලා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
0 Comments