ගැබ්බර මුව දෙනකගේ මස් රස බැලීමට වෙඩි තැබූ පොලීසියේ දෙදෙනෙකුව ගම්මුන් ගස් බඳී (වීඩියෝ සහිතයි)


ගැබ්බර මුවදෙනක් වෙඩි තබා ඝාතනය කළ බවට සැක කරන පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ තවත් සිවිල් පුද්ගලයෙකු අල්ලාගෙන ගස් බැද අද දින මකුළුගස්වැව ‍පොලීසියට භාරදීමට ගල්කිරියාගම හීනුග්ගල ප්‍රදේශයේ තරුණ පිරිසක් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

මෙම පිරිස අල්ලා ගැනීමත් සමඟ වන ජීවී නිලධාරින් සහ පොලිසිය අතර පොලිසිය සහ ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක්ද හට ගැනිණ.

පසුව ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය හමුවේ අත්අඩංගුවට පත් පොලිස් සැරයන්වරුන් දෙදෙනා සහ සිවිල් පුද්ගලයා ඔවුන් පැමිණි යතුරුපැදිය සහ වෙඩි තබන ලද මුව දෙනගේ සිරුර මකුළුගස්වැව පොලිසිය විසින් රැගෙන ගොස් ඇත.

ඒ වනජීවී නිලධාරීන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ විරෝධය මධ්‍යයේ ය.

ගල්කිරියාගම මකුළුගස්වැව ගස් වැව පොලිස් බල ප්‍රදේශයේ හීනුග්ගල රක්ෂිතයේ මෙදින අලුයම 03.45ට පමණ යම්කිසි වාහනයකින් පැමිණි අයෙකු වෙඩි තබන සද්දයක් ඇසී එහි අසල්වැසි තරුණයෙකු එකවරම ඒ පිළිබඳව සොයා බලා තිබේ.

පසුව ඔවුන් අනෙක් තරුණයන්ටද කතා කොට විදුලි පන්දම් දැල්වීමේ දී එකවරම වාහනය පිටව ගොස් ඇතැයි ඔවුහු පැවසූහ.

නැවතත් අලුයම 4.30 පමණ යතුරුපැදියකින් තිදෙනෙකු පැමිණ කැලයේ සැඟව සිටියදී ප්‍රදේශයේ තරුණයන් පිරිස ඔවුන්ව අල්ලාගෙන ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ මුවදෙන වෙඩි තබා ඝාතනය කොට එම මළ සිරුර රැගෙන යෑම සඳහා පැමිණි බවයි.

පසුව ඔවුන් තිදෙනා ගස් බැඳ ගල්කිරියාගම වනජීවී කාර්යාලයට සහ මකුළුගස්වැව පොලිසියට දන්වා තිබේ.

පළමුවෙන් එම ස්ථානයට පැමිණ ඇත්තේ මකුළුගස්වැව පොලිසියේ නිලධාරීන් පිරිසකි.

ඊට විනාඩි කිහිපයකට පසුව වහාම ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ වනසත්ව නියාමක සඳුන් හේමනායක මහතා ඇතුළු කණ්ඩායමක් පැමිණ ඇත.

වන ජීවී නිලධාරීන් එහි සිටි පොලිස් නිලධාරීන්ට කියා සිටියේ මෙය වනජීවී පනත උල්ලංඝනය කිරීමක් නිසාවෙන් මෙන්ම සැකකරුවන් පොලිස් නිලධාරීන් නිසාවෙන් වහාම තමන් වෙත සැකරුවන් භාරදෙන ලෙසය.

මකුළුගස් වැව පොලිසියේ නිලධාරීන් ඊට දැඩි අකමැත්ත ප්‍රකාශ කළේ තමන්ට ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස් ලැබී ඇත්තේ වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන්ට මෙම සිද්ධිය භාර නොදෙන ලෙස පවසමින් වන බවද සදහන් කර තිබේ.

අවස්ථා කිහිපයකදීම ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ වන සත්ව නියාමක සඳුන් හේමනායක මහතා පොලිසියෙන් දැඩි ලෙස ඉල්ලීම් කළ බව වාර්තා විය.

එහිදී සහකාර පොලිස් අධිකාරීවරයෙකු බව පවසන අයෙකු දුරකථනයෙන් සම්බන්ධ කොට පොලීසිය නිතිය ක්‍රියාත්මක කිරීමට හැකි බව පැවසීමත් සමඟ වනජීවී නිලධාරින් සහ පොලිසිය අතර ද උණුසුම් කතාබහක් ඇති වි තිබේ.

මෙසේ පොලිස් භාරයට ගෙන ඇත්තේ මඩාටූගම පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු සහ ගිරානේගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන් වරයෙකු මෙන්ම මහව සියඹලංගමුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

අත්අඩංගුවට පත් පුද්ගලයන් දෙදෙනකු සහෝදරයන් බව වනජීවී නිලධාරීහු පෙන්වා දේ.

ප්‍රදේශවාසීන් පොලිසියෙන් ප්‍රශ්න කරන්නට වූයේ ඔවුන් පැමිණි කැබ් රථය සහ වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය අත්අඩංගුවට ගැනීමකින් තොරව ඔවුන් රැගෙන නොයන ලෙසත් එමෙන්ම එම සිද්ධියේ පරීක්ෂණ කටයුතු වනජීවී නිලධාරීන්ට ලබා දෙන ලෙසයි.

ඊට පොලිසිය දැඩි ලෙස විරෝධ වීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් හට ගැනීම විශේෂත්වයකි.

එමෙන්ම එක් පොලිස් නිලධාරියෙකු එහි සිටි කාන්තාවකට තරුණයන් පිළිබඳව පස්සේ බලා ගන්නන් යැයි තර්ජනය කිරීමත් සමඟ එම කාන්තාව සහ තරුණයන් පොලිසියට දැඩි විරෝධය ප්‍රකාශක කරන්නට ගොස් එහි උණුසුම් තත්ත්වයක් ද හට ගෙන ඇති බව සදහන් ය.

කෙසේ වෙතත් ඔවුන් සැකකරුවන් පිරිස රැගෙන යන්නට විය.

වන සත්ව නියාමක සඳුන් හේමනායක මහතා සඳහන් කළේ තමාගේ නිරීක්‍ෂණය අනුව මෙම වෙඩි තැබීම ටී පනස් හය ගිනි අවියකින් සිදු කරන්නට ඇති බව විශ්වාස කරන බවයි.

එම නිසා මෙම මියගිය මුව දෙනගේ පශ්චාත් මරණ පරීක්ෂණය වනජීවී පශු වෛද්‍යවරයෙකු ලවා සිදු කර ගැනීමේ අවශ්‍යතාවය මතුවන බව වැඩිදුරටත් සදහාන් කර සිටියේ.

පොලිස් නිලධාරීන් ක්‍රියාත්මක කරන්නට යන්නේ වනජීවී නිලධාරීන්ට පැවරී ඇති අණ පනත් අනුව රාජකාරිය බවත් ඒ අනුව වනජීවී නිලධාරීන්ට මෙම සිද්ධිය පරීක්ෂණ කටයුතු භාරදීමට හැකියාව තිබියදී පොලිසිය එය ඉටු නොකිරීම බරපතළ ප්‍රශ්නයක් බව ද සදහාන් කර ඇත.

කෙසේ වෙතත් මකුළුගස්වැව පොලිසියේ එම ස්ථානයට පැමිණි උසස් නිලධාරියකු සඳහන් කළේ තමන් අපක්ෂපාතීව මෙම පරීක්ෂණය පවත්වන බවට ගම්මුන්ට විශ්වාසය තබා ගන්නා ලෙසයි.

Post a Comment

0 Comments