රනිල්ගේ සංචාරයට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් බැරකර ඇති මුදල රුපියල් එක්කෝටි හැට දෙලක්ෂයක් - පොලිසිය

 


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු දහ දෙනෙකුගේ කණ්ඩායමක් පුද්ගලික සංචාරයක් සඳහා එක්සත් රාජධානියට යාමට අදාළ මුදල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ මුදලෙන් එක් කෝටි හැට දෙලක්ෂ හැත්තෑ දාස් පන්සිය හැත්තෑ දෙකයි ශත අසූ තුනක මුදලක් විදේශ කටයුතු අමාත්‍යාංශයට බැර කිරීමක් සිදු කර ඇති බව පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ පවසනවා.

මේ මුදල සම්පූර්ණයෙන්ම ආවරණය වී තිබුණේ හිටපු ජනාධිපතිවරයා, එම භාර්යාව සහ පුද්ගලික ලේකම්වරියගේ අදාළ වියදම් සඳහා පමණක් බවත්, ඊට අමතරව, ජනාධිපති ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර විගණන වාර්තාව අනුව පොලිසිය සහ නාවික හමුදාවේ දෙදෙනාගේ වියදම් සඳහා ලක්ෂ තිස් දෙකකට වැඩි වෙනම මුදලක් ඒ සඳහා වියදම් වූ බවට වාර්තා වන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ.

ඉහත මුදල තුළ ගුවන් ටිකට්පත් ගාස්තු අන්තර්ගත වී නොමැති බවත්, බ්‍රිතාන්‍යය තුළ නතරවීමට, ආහාර, ප්‍රවාහන සහ අනෙකුත් කටයුතු සඳහා වූ මුදල මෙහි අන්තර්ගත බවයි ඔහු පවසා සිටියේ.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයට ගෙවීම් සිදුකර ඇති බවද, විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ලන්ඩනයේ ඇති ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට ගෙවීම් සිදු කළ බවට විමර්ශනවලදී අනාවරණ වී ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසනවා.

Post a Comment

0 Comments