හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට අධිචෝදනා


ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනතට අනුව තරඟ පාවාදීමේ චෝදනා යටතේ, මෙරට ජාතික තලයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන සචිත්‍ර සේනානායකට එරෙහිව නිතිපතිවරයා විසින් අද (25) අධිචෝදනා භාරදී තිබෙනවා.

ඒ අනුව, අදාළ නඩුව හම්බන්තොට මහාධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව අධිචෝදනා භාරදීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

විත්තිකරුට අධිචෝදනා බාරදීමෙන් අනතුරුව ඔහුගේ ඇඟිලි සළකුණු ලබා ගන්නා ලෙස අධිකරණය නියම කළ අතර, විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසත්, එම ශරීර ඇපකරුවන් විත්තිකරුගේ ළඟම ඥාතීන් දෙදෙනකු විය යුතු බවටත් නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

2020 වසරේ නොවැම්බර් 21 සහ 22 අතර කාලසීමාව තුළදී මුරුසි දිවයිනේදී හා හම්බන්තොටදී පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රතිඵලයට බලපෑමක් ඇති කළ හැකි අයුරින්, එම තරගාවලියට සහභාගි වූ ‘කලම්බු කින්ග්ස්’ කණ්ඩායම සඳහා තෝරාගෙන සිටි තරිඳු රත්නායකට තරඟ පාවාදීම සඳහා වෙනත් පාර්ශවයක් විසින් ඉදිරිපත් කළ යෝජනාවක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයට දැනුම් නොදෙන ලෙස ඔහුගෙන් අයැද සිටීම, ඔහුව පෙළඹවීම සහ ඊට අවශ්‍ය අදාළ උපදෙස් ලබාදීම මෙන්ම, දූෂණයට අනුබලදීම සම්බන්ධයෙන් සචිත්‍ර සේනානායකට අධිචෝදනා එල්ල වී තිබෙනවා.

Post a Comment

0 Comments