පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මේ වන විට ශ්‍රී ලංකාවට රැගෙන විත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නිලංග සම්පත් සිල්වා හෙවත් ‘පානදුරේ නිලංග’ නමැත්තාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන රිට් පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 26 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
අදාළ සැකකරුගේ මව විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම අද (19) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවා තිබුණා.
එහිදී, පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව, එය සලකා බැලීම සඳහා ලබන 26 වැනිදා කැඳවීමට විනිසුරු මඬුල්ල නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, පොලිස්පතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින සිය පුත්‍රයාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත්, රැඳවුම් භාරයේ සිටින සැකකරුවන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරන ලෙසත් වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කාර මව කියා සිටින්නේ.
0 Comments