අගමැතිනි හරිනි අමරසූරිය මහජන චීන සමූහාණ්ඩුවේ අගමැති Li Qiang හමුවෙයි


මහජන චීන සමූහාණ්ඩුවේ නිල සංචාරයක නිරත අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය, චීනයේ බීජිං නුවරදී මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය කවුන්සිලයේ අගමැති Li Qiang හමු වී තිබෙනවා.

ඇය විසින් මහජන චීන සමූහාණ්ඩුවේ 76 වැනි සංවත්සරයට සුබ පැතුම් එක් කළ අතර, අගමැතිනිය ලෙස ඇයගේ මෙම පළමු චීන නිල සංචාරය හරහා දෙරටේ වෙළෙඳාම, ආයෝජන, සංචාරක, සංස්කෘතික සහ ජනතාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අවස්ථාවක් ලැබෙන බවද සඳහන් කර තිබෙනවා.

ගෝලීය ආර්ථිකයේ සහ නවෝත්පාදනයේ ප්‍රධාන නියමුවෙකු ලෙස මෙන්ම දරිද්‍රතාවය අඩු කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, මානව-ප්‍රාග්ධන සංවර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගීතාවයේ හවුල්කරුවෙකු ලෙස චීනයේ භූමිකාව පැසසුමට ලක් කළ අගමැතිනිය, ශ්‍රී ලංකාව ගෙන යන "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන දැක්ම පැහැදිලි කළ අතර, 2025 ජනවාරි මාසයේදී දියත් කරන ලද 'Clean Sri Lanka' වැඩසටහන ඇතුළුව දරිද්‍රතාවය තුරන් කිරීම, තිරසාරත්වය ශක්තිමත් කිරීම, ඩිජිටල් පරිවර්තනය ඉදිරියට ගෙන යාම සහ සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා වන ජාතික ප්‍රමුඛතා පිළිබඳව තවදුරටත් විස්තර කර ඇති බවයි සඳහන්.

කාන්තා අයිතිවාසිකම් සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය තහවුරු කළ අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය, බීජිං ප්‍රකාශය සහ ක්‍රියාකාරී වේදිකාව ('Beijing Declaration and Platform for Action') සඳහා සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කළ අතර, කාන්තා නායකත්වය, බලගැන්වීම, කාන්තාවන් සඳහා සම අවස්ථා ලබාදීම සහ ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂා කිරීම සඳහා වන ජාතික කැපවීම අවධාරණය කළ බවයි අගමැති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.  

Post a Comment

0 Comments