ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසය තුළ, විශේෂයෙන්ම කාන්තා ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ, සෑම යුගයකම නව නායකත්වයන් බිහිවී ඇත. එවන් නව පරපුරේ නියෝජිතාවක් ලෙස, ශක්තිය, කැපවීම සහ අභියෝග ජයගැනීම යන ගුණාංග තුනම එකට එක් කරගත් කාන්තාවක් ලෙස අද කතාබහට ලක්වන්නේ කේෂනි පෙරේරා ය.
2025 Fitness Expo ජාතික කායවර්ධන තරඟාවලියේ, Women Physique ඉසව්වෙන් සම්පූර්ණ ජයග්‍රහණය හිමිකරගත් ඇය, එම තරඟාවලියේ පැවති එකම කාන්තා ඉසව්ව ජයගත් ක්‍රීඩිකාව ලෙසද ඉතිහාසගත වූවාය. විසි තුන් වියසකින් පසුවන කේෂනිගේ මෙම ජයග්‍රහණය, තනි තරඟ ජයක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ කාන්තා කායවර්ධන ක්‍රීඩාවේ වර්ධනයටද ශක්තිමත් පණිවිඩයක් වූවාය.
පවුල් පසුබිම සහ පෞද්ගලික ජීවිතය
2002 අප්‍රේල් 16 වන දින, කොළඹ මෝදර ප්‍රදේශයේ සාමාන්‍ය දෙදරු පවුලක බඩපිස්සිය ලෙස කේෂනි උපත ලැබුවාය. ඇයගේ පියා අජිත් පෙරේරා මහතා මධ්‍ය පරිමාණ ඇඟලුම් ව්‍යාපාරයක නිරත ව්‍යාපාරිකයෙකු වන අතර, මව හිමාලි නිරෝෂනී මහත්මිය ගෘහණියකි. පවුලේ වැඩිමල් දියණිය වන ප්‍රසංගි පෙරේරා මහත්මිය විවාහ වී ගෘහණියක් ලෙස කටයුතු කරයි.
කේෂනිගේ පවුල් පසුබිම ඇයගේ ජීවිතයට විශාල බලපෑමක් කළේය. ක්‍රීඩාව, අධ්‍යාපනය සහ විනය යන අංශ තුනම සමබරව වර්ධනය කරගැනීමට පවුලෙන් ලැබූ සහයෝගය, ඇයගේ සාර්ථකත්වයේ පදනමක් බව කේෂනි නිරන්තරයෙන් සඳහන් කරයි.
අධ්‍යාපන ගමන සහ ක්‍රීඩා හැකියාවන්
කේෂනිගේ අධ්‍යාපන ගමන ආරම්භ වූයේ කොටහේන Good Shepherd Convent පාසලෙනි. කුඩා කල සිටම ඉගෙනුමට මෙන්ම ක්‍රීඩාවට ද එකසේ දක්ෂතා පෙන්වූ ඇය, පාසල් කාලය පුරා විවිධ මලල ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ රැසක් ලබාගත්තාය.
විශේෂයෙන්ම කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබාගැනීම, ඇයගේ ශක්තිය සහ ශාරීරික හැකියාවන් ඉතා ඉක්මනින් හඳුනාගත් අවස්ථාවක් ලෙස සැලකේ.
2021 වසරේදී උසස් පෙළ වාණිජ අංශයෙන් “C” සමාර්ථ දෙකක් සහ “S” සමාර්ථයක් සමඟ සමත් වූ කේෂනි, අධ්‍යාපනයෙන් පසුව පෞද්ගලික මූල්‍ය ආයතනයක තැන්පතු අංශයේ රැකියාවක් ආරම්භ කළාය. රැකියාව සහ ක්‍රීඩාව එකවර පවත්වාගෙන යාම ඇයට අභියෝගයක් වූවත්, එය ඇයගේ කාල කළමනාකරණ හැකියාව තවදුරටත් ශක්තිමත් කළාය.
Gym එකෙන් ජාතික වේදිකාවට
කායවර්ධන ගමන
කේෂනිගේ කායවර්ධන ගමන ආරම්භ වූයේ ජයග්‍රහණයක් සඳහා නොව, ශරීර යෝග්‍යතාවය වැඩි කරගැනීමේ අරමුණෙනි. පාසලේ අට වසරේ සිටම මලල ක්‍රීඩා වල නිරත වූ ඇය, ශරීර ශක්තිය වැඩි කරගැනීම සඳහා gym පුහුණුවට යොමු වූවාය.
සාමාන්‍ය පෙළ සමයේදී ඇයගේ බර කිලෝග්‍රෑම් 75 දක්වා ඉහළ ගොස් තිබූ අතර, එය අඩු කරගැනීම සඳහා gym පුහුණුව ආරම්භ කළේය. එම අවස්ථාවේදී, ශරීර හැඩගැස්වීම සහ මාංශ පේශි වර්ධනය පිළිබඳ උනන්දුව ඇය තුළ ගොඩනැගුණි.
පුහුණුකරුගෙන් ජීවිත සහකරුවා දක්වා
Fitness First.lk Gym එකේදී, ඇයට හමුවූ පුහුණුකරු වූ මාලිංග ප්‍රනාන්දු, කේෂනිගේ ජීවිතය වෙනස් කළ ප්‍රධාන චරිතයෙකි. වෘත්තීය පුහුණුකරු-ක්‍රීඩිකා සම්බන්ධතාවයක් ලෙස ආරම්භ වූ ඔවුන්ගේ සම්බන්ධය, අදහස් සහ අගයන් එකට ගැළපීම නිසා ජීවිත සහකාරත්වයක් දක්වා වර්ධනය විය.
අද වන විට විවාහ වී වසරකට ආසන්න කාලයක් ගත කර ඇති මෙම යුවල, ක්‍රීඩා සහ ජීවිතය එකට ගොඩනගන විශේෂ උදාහරණයක් බවට පත්ව ඇත.
ජය පිට ජය
2023 ජූනි මාසයේ පැවති ජාතික ආධුනික කායවර්ධන ශූරතාවලියේ Ms. Novice ඉසව්වෙන් පළමු ස්ථානය දිනාගැනීම, කේෂනිගේ ජාතික මට්ටමේ පළමු විශාල ජයග්‍රහණය විය.
ඊට පසුව 2024 මාර්තු මාසයේ පැවති Colombo Fitness Festival තරඟාවලියේ Women Physique අංශයෙන්ද පළමු ස්ථානය දිනාගැනීම, ඇයගේ හැකියාවන් තවදුරටත් තහවුරු කළාය.
එම වසරේම පැවති ශ්‍රී ලංකාවේ ප්‍රධානතම කායවර්ධන තරඟාවලිය වන Mr. Sri Lanka තරඟාවලියේ Fit Model ඉසව්ව ජයගැනීම, ඇයගේ ක්‍රීඩා ජීවිතයේ තවත් වැදගත් මොහොතක් විය.
ගෘහණියක් ලෙස, ක්‍රීඩිකාවක් ලෙස, නව අභියෝග
ආසියානු තරඟාවලියට සහභාගි වීමෙන් අනතුරුව, විවාහ වී වසර එකහමාරක විරාමයකින් පසු 2025 Fitness Expo තරඟාවලියට සහභාගි වී Women Physique ඉසව්ව ජයගැනීම, කේෂනිට විශේෂ අගයක් දරන ජයග්‍රහණයක් බව ඇයම සඳහන් කරයි.
ගෘහණියක් ලෙස සහ බිරිඳක් ලෙස වගකීම් ඉටු කරමින්, ආහාර සැලසුම්, පුහුණුව සහ රැකියාව එකවර කළමනාකරණය කිරීම ඇයට දැඩි අභියෝගයක් වූවත්, එම අභියෝග ජයගත් මෙම ජයග්‍රහණය ඇයට අතිශයින්ම අගනාය.
උපහාර සහ අනාගත බලාපොරොත්තු
සිය සාර්ථකත්වයට උදව් කළ සියලු දෙනා මතක් කිරීමට කේෂනි කිසිවිටකත් අමතක නොකරයි. සැමියා සහ පුහුණුකරු මාලිංග ප්‍රනාන්දු, දෙමාපියන්, සොයුරිය, දෙවන මව ලෙස සැලකෙන මාලිංගගේ මව, සහ Tranzformers Gym හි මිතුරන් ඇයගේ ගමනේ අත්‍යවශ්‍ය කොටස් බව ඇය අවධාරණය කරයි.
අනාගතය පිළිබඳව කේෂනිගේ දැක්ම පැහැදිලිය. හැකියාව ඇති තරම් කාලයක් ක්‍රීඩාවේ නිරත වීමත්, දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික මට්ටමට රැගෙන ඒමත්, අවසානයේ ජාත්‍යන්තර කායවර්ධන ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට රැගෙන ඒමත් ඇයගේ ප්‍රධාන සිහින වේ.
ශක්තියෙන් පමණක් නොව, විනයෙන්, කැපවීමෙන් සහ නිවැරදි මගපෙන්වීමෙන් ජයගන්න පුළුවන් බව කේෂනි පෙරේරාගේ කතාව අපට පැහැදිලිව පෙන්වා දෙයි. ඇය අද ජයග්‍රහණයක් නොව, අනාගත කාන්තා ක්‍රීඩිකාවන්ට ආදර්ශයක් වේ.
– යෙනුක සිසිල්චන්ද්‍ර






0 Comments