අභියෝග ජයගෙන ගොඩනැගුණු කායවර්ධකයෙක් – චතුර දිලංග දිසානායකගේ ගමන සහ ක්‍රීඩාව ගැන ඔහුගේ දැක්ම


කායවර්ධනය යනු ශාරීරික ශක්තිය, අඛණ්ඩ පුහුණුව සහ දැඩි කැපවීම එකට එකතු වන ක්‍රීඩාවකි. බර යෙදීමේ පුහුණුව, නිසි ආහාර සැලසුම් සහ ප්‍රමාණවත් විවේකය මත පදනම්ව පේෂි වර්ධනය කරමින් ශරීර සෞන්දර්යය ඉදිරිපත් කිරීම මෙහි මූලික අරමුණ වේ. නමුත් මේ ක්‍රීඩාවේ ජයග්‍රහණය ලබාගැනීමට ශාරීරික ශක්තිය පමණක් ප්‍රමාණවත් නොවන අතර මානසික ශක්තිය, ඉවසීම සහ දිගුකාලීන කැපවීමද අත්‍යවශ්‍ය වේ.

මෙවැනි අභියෝග අතරින් තම අරමුණ අත් නොහැර ජාත්‍යන්තර තරඟ මට්ටමට පැමිණීමට සමත් වූ ශ්‍රී ලාංකික කායවර්ධකයෙකු ලෙස චතුර දිලංග දිසානායකගේ නාමය විශේෂයෙන් සඳහන් කළ හැක.

 ක්‍රීඩා පවුලකින් ආරම්භ වූ ජීවිත ගමන

චතුර දිලංග දිසානායක උපත ලැබුවේ 1985 නොවැම්බර් 23 වනදා සීදූව රදොළුගම ප්‍රදේශයේ තිදරු පවුලක මද්දුම පුත්‍රයා ලෙසයි. ඔහුගේ පියා උපාලි දිසානායක හිටපු බයිසිකල් ධාවන ශූරයෙකු වන අතර මව ප්‍රියන්ති දිසානායකයි.

ක්‍රීඩාවට සමීප පවුල් පසුබිමක් තිබූ නිසා කුඩා වයසෙන්ම ක්‍රීඩාවට උනන්දුවක් ඔහු තුළ වර්ධනය විය. ඔහුගේ වැඩිමහල් සොයුරු රසික දිසානායකත් බාල සොයුරු මයුර දිසානායකත් Mixed Martial Arts (MMA) ක්‍රීඩාවේ නිරතව ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වෙති. විශේෂයෙන්ම මයුර දිසානායක ජාත්‍යන්තර වශයෙන් හඳුනාගත් ක්‍රීඩකයෙකු වන අතර ඇතැම් අය ඔහුව “ශ්‍රී ලංකා සිංහයා” ලෙසද හඳුන්වයි.

පාසල් සමයේ සිට ක්‍රීඩාවට කැපවීම

චතුරගේ පාසල් ජීවිතය ගතවූයේ දෙමටගොඩ වේළුවන මහා විද්‍යාලයේදීය. පාසල් කාලයේදී ඔහු විවිධ ක්‍රීඩා ඉසව්වල දක්ෂතා දැක්වූ අතර විශේෂයෙන් හෙල්ල විසිකිරීම, කවපෙත්ත විසිකිරීම සහ යගුලිය විසිකිරීම වැනි ක්‍රීඩා ඉසව්වල පාසල් ශූරයෙකු ලෙස පෙනී සිටියේය.

ඔහු වාණිජ විෂයන් යටතේ උසස් පෙළ අධ්‍යාපනය හදාරමින් සිටියද පවුලේ ආර්ථික අපහසුතා හේතුවෙන් අධ්‍යාපනය අතරමග නවතා රැකියාවක් කිරීමට සිදුවිය. එහෙත් ක්‍රීඩාව පිළිබඳ ඔහුගේ උනන්දුව කිසි විටෙකත් අඩුවී නොගියේය.

 කායවර්ධන ක්‍රීඩාවට පිවිසුම 


චතුරගේ පළමු රැකියාව කොළඹ පිහිටි තරු පහේ හෝටලයකය. එහි සේවය කරන අතරතුර ඔහු හෝටල් කළමනාකරණය පිළිබඳ පාඨමාලාවක්ද හදාරුවේය.

හෝටලයේ Gym මධ්‍යස්ථානයේ නිතර ව්‍යායාම කරමින් සිටි චතුරගේ ශරීරයේ වෙනස්කම් දුටු සුනිල් ජයන්ත මහතා ඔහුට කායවර්ධන ක්‍රීඩාවට පිවිසීමට උපදෙස් ලබාදුන්නේය. ඔහුගේ මඟපෙන්වීමෙන් චතුර YMCA මධ්‍යස්ථානයට එක්ව 2005 වසරේදී කායවර්ධන ක්‍රීඩාව ආරම්භ කළේය.

එම වසරේම පැවති කණිෂ්ඨ කායවර්ධන තරඟාවලිය ජයගනිමින් Junior Mr. Sri Lanka කිරුල දිනාගැනීමට ඔහු සමත් විය.

 ජාතික මට්ටමේ ජයග්‍රහණ 


චතුරගේ කායවර්ධන ගමන ඉතා කෙටි කාලයකින්ම සාර්ථකත්වය කරා ගමන් කළේය.

2006 වසරේදී පැවති Mr. YMCA Bodybuilding Championship තරඟාවලියේ 80kg, 85kg, 90kg සහ 90kg ට වැඩි බර පංතිවල රන් පදක්කම් දිනාගැනීමට ඔහු සමත් විය. එම වසරේම පැවති Mr. Heman තරඟාවලියේ කණිෂ්ඨ ශූරතාවයද ඔහු හිමිකරගත්තේය.

2009 වසරේදී Mr. Sri Lanka තරඟාවලියේ 90kg ට වැඩි බර පංතිය ජයගත් චතුර, 2010 වසරේ එම තරඟාවලියේ 90kg බර පංතියේ දෙවන ස්ථානයද දිනාගත්තේය.

2011 වසරේදී අන්තර් දිස්ත්‍රික් ක්‍රීඩා තරඟවල 90kg බර පංතියේ දෙවන ස්ථානයත් අන්තර් පළාත් ක්‍රීඩා තරඟවල තෙවන ස්ථානයත් ඔහුට හිමිවිය.

 විදේශගතවූ ජීවිතය සහ අලුත් අරමුණ



2013 වසරේදී වැඩිවූ පවුල් වගකීම් හේතුවෙන් චතුර රැකියාවක් සඳහා ඩුබායි වෙත ගියේය. එහිදී ඔහු ක්‍රීඩා උපකරණ අලෙවි කරන ආයතනයක Sales Promotion Officer ලෙස සේවය කළේය.

2017 වසරේදී තවත් ක්‍රීඩා සමාගමක Relationship Manager ලෙස සේවය කිරීමට ඔහුට අවස්ථාව ලැබුණි. නමුත් ඔහුගේ සැබෑ අරමුණ ධනය එකතු කිරීම නොව, නැවත කායවර්ධන තරඟ වේදිකාවට පැමිණීම සඳහා අවශ්‍ය ආර්ථික ශක්තිය සපයාගැනීමයි.

 කොවිඩ් අභියෝග අතර ජාත්‍යන්තර ජයග්‍රහණය 

Dubai Muscle Beach Show තරඟාවලියට සහභාගී වීමට සූදානම් වූ අවස්ථාවේ 2020 වසරේ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් චතුරගේ රැකියාව අහිමි විය. එහෙත් ඔහුගේ අරමුණ වෙනස් නොවීය.

තරඟයට සූදානම් වීමට අවශ්‍ය වියදම් සපුරාගැනීම සඳහා ඔහු තමන් සතුව තිබූ බොහෝ දේ විකුණා දැමීමටද තීරණය කළේය. ලංකාවේ තිබූ ඉඩම, ඩුබායිහි භාවිතා කළ වාහනය සහ පෞද්ගලික දේපළ පවා විකුණමින් ඔහු පුහුණුවීම් දිගටම කරගෙන ගියේය.

අවසානයේ 2020 නොවැම්බර් 13 වනදා පැවති Dubai Muscle Beach Show තරඟාවලියේ 90kg ට වැඩි බර පංතියේ තෙවන ස්ථානය දිනාගැනීමට ඔහු සමත් විය. 2006 වසරේදී ජාත්‍යන්තර තරඟයකට සහභාගී වීමට නොලැබුණු අවස්ථාවෙන් ඇතිවූ අදිටන අවුරුදු 14කට පසුව මෙලෙස සාර්ථක කරගැනීමට ඔහුට හැකි විය.

 වර්තමාන ජීවිතය 

වර්තමානයේ චතුර දිලංග දිසානායක Emirates Airline හි Air Marshal ලෙස සේවය කරන අතර Personal Trainer ලෙසද ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකට පුහුණු ලබාදෙයි.

කායවර්ධන ක්‍රීඩාවේ අත්දැකීම් සහ ජීවිතයේ අභියෝග මැදින් ලබාගත් පාඩම් ඔහු නව පරපුරේ ක්‍රීඩකයන් සමඟ බෙදාහදා ගැනීමටද කැපවී සිටී.

 ශ්‍රී ලංකාවේ කායවර්ධනය ගැන ඔහුගේ දැක්ම 


චතුර දිලංග දිසානායකගේ අදහස අනුව ශ්‍රී ලංකාවේ කායවර්ධන ක්‍රීඩාව තවදුරටත් සංවර්ධනය වීමට නම් පරිපාලන, පුහුණු සහ ආකල්පීය මට්ටම් තුළ සැලකිය යුතු වෙනස්කම් අවශ්‍ය වේ. ඔහු පවසන්නේ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් උපතින්ම ශක්තිමත් ශාරීරික හැකියාවන් සහිත බවයි. නමුත් ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික පුහුණුව, නිසි ආහාර සැලසුම් සහ විවේකය ලබාදීමේ ක්‍රමවේදය ප්‍රමාණවත් නොවීම ඔවුන්ගේ ප්‍රගතියට බාධාවක් වන බව ඔහු සඳහන් කරයි.

ඔහු විශේෂයෙන් අවධාරණය කරන්නේ කායවර්ධන ක්‍රීඩාවේ පරිපාලන ව්‍යුහය පිළිබඳවයි. ක්‍රීඩාව දියුණු කිරීම සඳහා ජාත්‍යන්තර තාක්ෂණික දැනුම ඇති සහ නව ප්‍රවණතා පිළිබඳ අවබෝධයක් ඇති පිරිසක් පරිපාලනය තුළ සිටිය යුතු බව ඔහුගේ අදහසයි. එකම පුද්ගලයන් වසර ගණනාවක් තනතුරු දරමින් සිටීම ක්‍රීඩාවේ ප්‍රගතියට බාධාවක් විය හැකි බැවින්, එක් පුද්ගලයෙකුට එම තනතුරක සිටිය හැකි උපරිම කාලය වසර පහකට සීමා කළ යුතු බව ඔහු යෝජනා කරයි.

කායවර්ධන පුහුණුකරුවන්ගේ දැනුම සහ වෘත්තීය ප්‍රමිතිය පිළිබඳවද චතුර අවධානය යොමු කරයි. ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ බොහෝ විට විද්‍යාත්මක දැනුමකින් තොරව පුහුණුකරුවන් ලෙස ක්‍රීඩකයන්ට උපදෙස් ලබාදෙන පුද්ගලයන් බිහිවන බවයි. එවැනි පුහුණුකරුවන්ගෙන් පුහුණුව ලබන ක්‍රීඩකයන්ට බොහෝ විට ආබාධ සහ සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බැවින්, පුහුණුකරුවන් සඳහා නිශ්චිත අධ්‍යාපනික හා වෘත්තීය ප්‍රමිතියක් ස්ථාපිත කළ යුතු බව ඔහු අවධාරණය කරයි.

Steroids සහ supplements භාවිතය පිළිබඳවද ඔහු සැලකිලිමත් වෙයි. වර්තමානයේ බොහෝ ක්‍රීඩකයන් වේගයෙන් ශරීර වර්ධනය කරගැනීම සඳහා මෙම ද්‍රව්‍ය භාවිත කරන බවත්, එහි අවභාවිතය හේතුවෙන් හෝමෝන වෙනස්වීම්, මානසික ගැටලු සහ දිගුකාලීන සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකි බවත් ඔහු පවසයි. එබැවින් මේවා භාවිතය,  නිසි වෛද්‍ය උපදෙස් ලබාගැනීම පිළිබඳ දේශීය ක්‍රීඩා නීති සකස් කිරීම සහ ක්‍රීඩකයන් දැනුවත් කිරීම අත්‍යවශ්‍ය බව ඔහු සඳහන් කරයි.

ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ බොහෝ දක්ෂ ක්‍රීඩකයන් ආර්ථික අපහසුතා හේතුවෙන් ක්‍රීඩාවෙන් ඉවත් වීමට හෝ විදේශගත වීමට සිදුවන බවයි. එවැනි ක්‍රීඩකයන් රට තුළම රඳවා ගැනීමට අනුග්‍රහකත්ව වැඩසටහන් සහ වෘත්තීයමය පුහුණු පද්ධති ඇති කළ යුතු බව ඔහුගේ අදහසයි. එවැනි සහාය ලබාදුන්නේ නම් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කායවර්ධන වේදිකාවේ සැලකිය යුතු ස්ථානයක් ලබාගැනීමට හැකි වන බව ඔහු විශ්වාස කරයි.

කාන්තා කායවර්ධනය පිළිබඳවද ඔහු විශේෂ අවධානය යොමු කරයි. ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රීඩිකාවන් අතර මෙම ක්‍රීඩාව පිළිබඳ තවමත් නිසි ආකල්පයක් වර්ධනය වී නොමැති බව ඔහු පවසන අතර, ඒ වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් සහ තරඟ අවස්ථා වැඩිදියුණු කළ යුතු බවද ඔහු අවධාරණය කරයි.

— යෙනුක සිසිල්චන්ද්‍ර

Post a Comment

0 Comments