මෙරට අලෙවි කරන මත්පැන්වල තිබිය යුතු ප්‍රමිතිය ඉදිරි දින කිහිපය ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව සූදානම් වේ. මෙතෙක් කලක් මෙරට අලෙවියට නිකුත් කරන මත්පැන් සඳහා ප්‍රමිතියක් නොපැවතුණු අතර දීර්ඝ කාලයක් ප්‍රමාද වුණු මෙම ප්‍රමිතිය අදාළ නිර්නායක මෙලෙස චක්‍රලේඛයක් හරහා නිකුත් කිරීමට සූදානම් බව සුරාබදු අධ්‍යක්ෂ ජනරාල් එම්.ජේ. ගුණසිරි පැවැසීය.
සුරාබදු දෙපාර්තමේන්තුව, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ ප්‍රමිති ආයතනය එක්ව මෙලෙස ප්‍රමිතියට අදාළ නිර්නායක සකස් කර ඇති අතර මෙරට නිෂ්පාදනය කෙරෙන සියලුම මත්පැන්වලට අදාළ අවසාන එස්.එල්.එස්. (SLS) ප්‍රමිතිය මෙම චක්‍රලේඛය ඔස්සේ ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
ඉන් අනතුරුව මත්පැන්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා ඒවායේ සාම්පල රැස්කිරීම සහ ඒවා පරීක්ෂාවන්ට යොමු කිරීම ආදී ක්‍රියාමාර්ගවලට අදාළ උපදෙස්ද කඩිනමින් සුරාබදු නිලධාරීන් වෙත ලබාදෙන බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙරට නිෂ්පාදනය කෙරෙන රාවලට අදාළ ප්‍රමිතිය මෙතෙක් සකස් කිරීම අවසන් කොට නැති බවත්, ඒ සඳහා මේ වන විටත් කර්මාන්ත තාක්ෂණ ආයතනය (ITI) සමග කටයුතු කරමින් සිටින බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
පසුගිය මැයි 20 වැනිදා නිකුත් කරන ලද රජයේ ගිණුම් කාරක සභාවේ නවතම වාර්තාවේ සඳහන් කර ඇත්තේ මෙරට අලෙවි කරනු ලබන මත්පැන් සඳහා ප්‍රමිතියක් සකස් කිරීමට මෙතෙක් සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු වගකිව යුතු ආයතන කටයුතු කර නැති බවයි. ඒ පිළිබඳව විමසීමේ දී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා මෙම අදහස් පළ කළේය.
0 Comments