සපුගස්කන්දෙන් අද සිට දිනපතා ඉන්ධන

 


සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවෙන් අද [ 30 වැනිදා ] සිට දිනපතා භූමිතෙල් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 600 ත් 800 ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍යංශය පැවසුවේය.

මේ වන විට කොළඹ වරායේ නැංගුරම් ලා ඇති මෙට්‍රික් ටොන් 79,000ක් අඩංගු බොරතෙල් නෞකාවෙන් දිනවල ඉන්ධන ගොඩබෑම සිදුවන බැවින් පිරිපහදුවේ ඉන්ධන නිෂ්පාදනය කිරීම ආරම්භ කල බව විදුලි බල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර පැවසුවේය.

ඊළඟ ඩීසල් නැව ලංකාවට ළඟාවීමට පෙර තෙල් පිරිපහදුවෙන් ඩීසල් නිෂ්පාදනය කළ හැකි බවට විශ්වාස කරන බව ද ඇමැතිවරයා පසුගියදා අමාත්‍යංශයේ පැවත්වූ මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

ඉකුත් 25වනදා මෙරටට පැමිණි මෙම බොරතෙල් නෞකාවට මුදල් ගෙවීම සඳහා දින 33ක පමණ කාලයක් ගත වී ඇත. ඒ අනුව මෙම නෞකාව සඳහා ප්‍රමාද ගාස්තු ලෙස දෛනිකව ඇමරිකානු ඩොලර් එක් ලක්ෂ විසිදහසක මුදලක් ගෙවිය යුතු බවට වාර්තා වෙයි.

ගුවන් යානා ඉන්ධන පවා ලබාදීමට පැවති බාධා හේතුවෙන් මෙරටට පැමිණි ජාත්‍යන්තර ගුවන් යානා බොහොමයක් ඉන්දියාව ඇතුළු වෙනත් රටවලට ඉන්ධන ලබාගැනීම සඳහා ගමන් කරමින් ඇති බවට වාර්තා වෙයි. ඒ අනුව පිරිපහදුව ආරම්භ කිරීමත් සමග එම ගැටලුවට විසඳුමක් ලැබෙනු ඇති බව ද බලශක්ති ඇමැතිවරයා පෙන්වා දෙයි.

බොරතෙල් නොලැබීම හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු ඉකුත් මාර්තු 21 වනදා සිට සම්පූර්ණයෙන්ම නතර කරනු ලැබීය.

මෙම තෙල් පිරිපහදුවේ කටයුතු ආරම්භ කිරීමත් සමග විදුලි උත්පාදනයට අවශ්‍ය නැප්තා මෙන්ම භූමිතෙල් ද ලබාගැනීමට හැකියාවක් ලැබෙයි.

Post a Comment

0 Comments