පෞද්ගලික බස් 13,000ක් එකතැන නතර වෙයි

 


ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොලැබීමෙන් පෞද්ගලික බස් රථ දහඅට දහසින් බස් රථ දහතුන් දහසක්ම ධාවනය නොවන බව පෞද්ගලික බස් සංගම් අවධාරණය කරයි.

කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසු බස් රථ දහ අටදහසින් දහතුන් දහසක් පමණක් ධාවනය කෙරෙන බවත් ඒ අතරින් බස් රථ පන්දහසක පමණ සංඛ්‍යාවක් ඊයේ (06 වැනිදා) සහ පසුගිය දින කිහිපයේ ධාවනය වූ බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.

නව පාසල් වාරයද ඊයේ උදෑසන ආරම්භ වූ අතර ප්‍රමාණවත් බස්රථ නොමැති වීමෙන් පාසල් දරුවන් මෙන්ම එදිනෙදා රැකී රක්ෂා සඳහා යන බොහෝ පිරිස් දැඩි අසීරුතාවට පත්වූහ.

පොදු ප්‍රවාහන සේවා ශක්තිමත් කිරීම සදහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝ හරහා පෞද්ගලික බස් රථවලට ඉන්ධන ලබාදීමේ වැඩපිළවෙළක් හඳුන්වා දී ඇතත් එම ක්‍රියාදාමය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් පැවැසීය.

අධික ඉන්ධන වියදම හමුවේ බොහෝ පිරිසක් රාජකාරීවලට යාමට හෝ වෙනත් ගමන් බිමන් යාමට පොදු ප්‍රවාහන සේවා භාවිත කරන බවත් මෙවන් තත්ත්වයක් මැද බස් රථවලට අවශ්‍ය ඉන්ධන බාධාවකින් තොරව ලබාගත හැකි ප්‍රායෝගික වැඩපිළිවෙළක් හඳුන්වාදෙන ලෙසත් ඉල්ලා සිටින බව අංජන ප්‍රියන්ජිත් කීවේය.

සාමාන්‍ය ප්‍රමාණයට වඩා යම් අඩු ප්‍රමාණයකින් ඩීසල් ලැබුණත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ මගී අවශ්‍යතාවට අනුව ධාවනයට යොදවා තිබෙන බව එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් කීවේය.

මේ අතර විශාල පිරිසක් දුම්රියවල ගමන් කිරිමට පටන්ගෙන තිබුණත් ප්‍රමාණවත් පරිදි දුම්රිය යෙදවීමට දුම්රිය රියැදුරු හා නියාමකවරුන්ගේ පුරප්පාඩු හේතු වී තිබේ.

මෙම පුරප්පාඩු පිරවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට නොහැකි තත්ත්වයක් මතුවීම හේතුවෙන් දුම්රිය දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් ධාවනයට යෙදවිය නොහැකි තත්ත්වයකට දුම්රිය දෙපාර්තමේන්තුව මුහුණ දී සිටින බව එම දෙපාර්තමේන්තුවේ උසස් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

එෆ්. අස්ලම් (අරුණ)

Post a Comment

0 Comments