ආහාර හිඟය නිසා දරුවන් මන්දපෝෂණයට ගොදුරුවීම 20% කින් පමණ වැඩිවී ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසා ඇත.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කෙරෙන ළමයින්ගෙන් සියයට 15ත් 20ත් අතර සංඛ්‍යාවක්ද මන්දපෝෂණයෙන් පෙළෙන බව හඳුනාගෙන ඇතැයි ඔහු සදහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු සොයා බැලීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බවද විශේෂඥ වෛද්‍යවරයා කීවේය.
මේ අතර රටේ ආර්ථික තත්වය හමුවේ දරුවන්ගේ පෝෂණ මට්ටම ඉතා විශාල වශයෙන් පහළට වැටෙමින් පවතින හෙයින් මත්පැන් , සිගරට් සඳහා වැය කෙරෙන මුදල දරුවන්ට බිත්තරයක් හෝ වෙනත් පෝෂ්‍යදායි ආහාරයක් ලබාදීමට කැප කරන්නැයි මවුපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව දීපාල් පෙරේරා පැවසීය.
ආහාර හිඟය නිසා නියමිත පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය ප්‍රමාණයට නොලැබෙන තත්වයක් පවතින හෙයින් දරුවන් මන්දපෝෂණයට ගොදුරුවීම සීග්‍රයෙන් වැඩිවන තත්වයක් පෙනෙන්නට ඇතැයි පැවසූ විශේෂඥ වෛද්‍යවරයා දරුවන්ගේ පෝෂණය ගැන මේ අවස්ථාවේදී මවුපියන් දැඩි අවධානයක් යොමු කළ යුතු බවද පෙන්වා දී තිබේ.
මන්දපෝෂණයට ගොදුරු වන දරුවන් පහසුවෙන්ම වෙනත් රෝගාබාධ වලට ලක් වන බවද ඔහු සඳහන්කර ඇත.
වත්ත පිටියේ වැවෙන කොළවර්ග පලාවර්ග මේ අවස්ථාවේදී දරුවන්ට වැඩි වැඩියෙන් ලබාදීමද ඉතා වැදගත් බවත් විශේෂයෙන්ම මුරුංගා කොළ දෛනික ආහාර වේලට එකතු කර ගැනීමෙන් ඉන් පෝෂ්‍ය පදාර්ථ රැසක් ලබා ගත හැකි වන බවත් ඔහු පැවසුවේය.
ආර්ථික අර්බුදය හමුවේ සිය ගෙවත්තේ එළවළු පලා වර්ග වගා කිරීමටද මවුපියන් වැඩි වැඩියෙන් උනන්දු විය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
පාසල් දරුවන් වෙනුවෙන් විශේෂ පෝෂණ වැඩසටහන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමද මේ මොහොතේ දී ඉතා වැදගත් බව විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.


0 Comments