අත්‍යවශ්‍ය භාණ්ඩ මිල තවත් ඉහළට

 


ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේ විධිමත් ක්‍රමවේදයක් නොමැති නිසා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි තොග වෙළෙඳුන්ගේ සංගමය පෙන්වා දෙයි.

අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරන තොග වෙළෙඳුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට විධිමත් වැඩිපිළිවෙළක් නොමැති නිසා ඒකාධිකාරියක් ගොඩනැගෙන බවයි. ආනයනය කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අවම මිලකට පාරිභෝගිකයාට ලබාදීමට සුදුසු ක්‍රමවේදවක් සකස් කරන ලෙස තොග වෙළෙඳුන් අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියි.

බැංකු නොවන ක්‍රමවලින් මුදල් ගෙවීම නතර කර බැංකු අනුපාතයට අනුව ගණනය කර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළට නිකුත් කිරීම සුදුසු බව තොග වෙළෙඳුන්ගේ සංගමය සඳහන් කරයි.

සුදු සීනි කිලෝග්‍රෑමයක් ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ගෙන්වීමට වැයවන්නේ රුපියල් 182ක්ය. ඒ වරාය බදුද ගෙවීමෙන් අනතුරුවය. එහෙත් වෙළෙඳ පොළේ විකිණීමට සැලසුම් කර ඇත්තේ රුපියල් 300කටය. නාඩු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 164කට ආනයනය කළත් විකුණුම් මිල වන්නේ රුපියල් 205කි. සුදු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 158කට ආනයනය කළත් විකිණීමට සැලසුම් කර ඇත්තේ රුපියල් 190කටය.

තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 165කට ආනයනය කරන අතර විකුණුම් මිල වන්නේ රුපියල් 250කි. වියළි මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 1040කට ආනයනය කර රුපියල් 1750කට අ​ලෙවි කිරීමට සැලසුම් කර ඇති බව තොග වෙළෙඳ සංගමය පවසයි.

Post a Comment

0 Comments