යල කන්නයට නිසි මොහොතේ රසායනික පොහොර නොදී කයිවාරු ගසන ගෝඨා – රනිල් දෙපළ ඉදිරියේ මතුවන ආහාර අර්බුදයට දෙන විසඳුම කුමක්දැයි වහා ප්‍රකාශයට පත් කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක අවධාරණය කළේය.
විශේෂයෙන්ම ඉදිරි ආහාර අර්බුදයක් මතුවේදැයි දැඩි බියකින් හා සංවේදීතාවකින් මහජනතාව පසුවන බවද ඔහු සඳහන් කළේය.
ජවිපෙ නායකයා පැවසුවේ රටේ පවතින ආර්ථික අර්බුදය හේතුකොටගෙන ජනාධිපතිවරයා කෘෂිකර්මාන්තය පිළිබඳව ගනු ලැබූ වැරදි තීන්දු හේතුවෙන් ආහාර හිඟයක් මතුවීමේ තත්ත්වයට අද රට පැහැදිලිව මුහුණ දී තිබෙන බවය.
ඒ සඳහා නිවැරදි විසඳුම් සොයමින් ආහාර නිෂ්පාදනය සඳහා ආණ්ඩුව වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට අසමත් වී ඇති බවත් සුපුරුදු වගකීම් විරහිත විවිධ නන්දෙඩවීම් කරමින් ආණ්ඩුවේ වගකිවයුත්තන් කටයුතු කිරීම දිගින් දිගටම රටට කරන්නේ ඛේදවාචකයක් බවත් මන්ත්‍රිවරයා පැවසීය.
ජනාධිපතිවරයා “හේතු එපා වගාකරන්න” කියමින් අගමැතිවරයා “මඤ්‍ෙඤාක්කා හිටවන්න” කියමින් කෘෂිකර්ම ඇමැති “රක්ෂිතවල කොස් කන්න” කියමින් කරන මෙම නන්දෙඩවීම් හැර කෘෂිකර්මාන්තයට අවශ්‍ය මූලික යෙදවුම් ටික හෝ ලබා දීමටවත් ඔවුන් අසමත් වී ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ නායකයා චෝදනා කළේය.
යල කන්නය ආරම්භ වී සැලකිය යුතු කාලයක් ගතවී තිබුණද අවශ්‍ය රසායනික පොහොර ලබාදීමට හා පළිබෝධනාශක ඇතුළු කෘෂි යෙදවුම් ලබා දීමට ආණ්ඩුව කටයුතු නොකිරීම පමණක් නොව දේශීය කාබනික පොහොර නිෂ්පාදකයන්ටද ඔවුන්ගෙන් මිලට ගත් පොහොරවල මුදල් ලබා නොදීමටද ආණ්ඩුව කටයුතු කර ඇති බව ඒ මහතා පෙන්වාදුන්නේය.
මින් පෙන්නුම් කරන්නේ රට මුහුණ දී තිබෙන අර්බුදය පිළිබඳ නිසි වැඩපිළිවෙළක් සකස් කිරීමට අසමත් වීම පමණක් නොව ඒ පිළිබඳව ජනාධිපතිට හෝ අගමැතිට කිසිදු සංවේදිතාවක් නොමැති බව යැයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
0 Comments