ගබ්සාව නීතියෙන් තහනම් වෙයි

 


ඇමෙරිකානු කාන්තාවන්ට ගබ්සාවක් සිදුකර ගැනීම සඳහා ව්‍යවස්ථාපිත අයිතිය ලබාදුන් වසර 50ක් පැරැණි නඩු තීන්දුවක් වෙනස්කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නව නීතිය අනුගමනය කරමින් ඇමෙරිකාවේ ප්‍රාන්තවලින් අඩකම ගබ්සාව නීතියෙන් තහනම් කරනු ඇති අතර අමෙරිකානු කාන්තාවන්ට මෙතෙක් හිමිව තිබූ ගබ්සා අයිතිය අහිමිවී යනු ඇත.

නව නීතිය යටතේ ගබ්සාව තහනම් කිරීමට කැමති අමෙරිකාවේ ඕනෑම ප්‍රාන්තයක රජයට එම තීන්දුව ගැනීමේ නිදහස් අයිතිය හිමිවීම විශේෂත්වයකි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ දැනටමත් ගබ්සාව තහනම් කිරීමට ප්‍රාන්ත 13ක් කටයුතු කර ඇති බවයි.

ඒ යටතේ අමෙරිකානු කාන්තාවන් මිලියන 36කට බලපෑම් එල්ල වෙයි.

ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ඛේදනීය වරදක් බවයි.

අධිකරණ තීන්දුව හේතුවෙන් කාන්තාවන් වෙත හිමිව තිබූ මානව අයිතියක් අහිමිවූ බවට තමන් විශ්වාස කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.


මේ අතර අදාළ තීන්දුවට එරෙහිව ඇමෙරිකාව පුරා විරෝධතා ද ආරම්භ වී තිබේ.

Post a Comment

0 Comments